ICC අලුත් නීති: එංගලන්තයට ලෝක කුසලානය හිමි වූ 'සුපර් ඕවර්' නීතිය වෙනස් කෙරේ

එංගලන්තයට ලෝක කුසලානය හිමි වූ 'සුපර් ඕවර්' නීතිය වෙනස් කෙරේ

ඡායාරූප මූලාශ්‍රය, ALLSPORT/GETTY IMAGES

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයට හිමි වූ ආකාරය යළිත් සිදුවීමට ඉඩ නොතැබීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ පැවැත්වෙන තරගාවලිවලදී අතිරේක පන්දු වාරයේ (super over) එල්ල කරන හතරේ සහ හයේ පහර සංඛ්‍යාව මත පදනම්ව තරගයේ ජය තීරණය කරන නීතිය අහෝසි කිරීමත් සමගය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අතිරේක පන්දු වාරයේදී කණ්ඩායම් දෙක ම ලකුණු 15 බැගින් රැස් කළ ද, හතරේ සහ හයේ පහර වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබූ හෙයින් එංගලන්තයට ජය හිමි විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීති අනුව අර්ධ අවසන් සහ අවසන් තරගවලදී එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට වඩා ලකුණු රැස් කර ජය හිමි කර ගන්නා තුරු අතිරේක පන්දු වාර ක්‍රියාත්මක කෙරේ.

ඊට අමතරව මූලික තරගවලදී ද අතිරේක පන්දු වාරයක් ක්‍රියාත්මක වේ.

මූලික තරගවලදී අතිරේක පන්දු වාරයේ දෙපිලේ ම ලකුණු සම වුවහොත් පමණක් එම තරගය ජය පරාජයෙන් තොරව නිම වූ තරගයක් ලෙස සැළකෙනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ, අතිරේක පන්දු වාරය මගින් "ක්‍රීඩාවට උද්දීපනය වන සුළු අවසානයක් ලැබෙන අතර එය සියලු එක්දින හා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිවලට අදාළ වන" බවය.

කාන්තා ක්‍රිකට් ත්‍යාග මුදල් ඉහළ දැමේ

කාන්තා ක්‍රිකට් ත්‍යාග මුදල් ඉහළ දැමේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඩුබායිහිදී පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති අනෙකුත් තීන්දු අතරට ක්‍රිකට් කවුන්සිලය යටතේ පැවැත්වෙන කාන්තා ක්‍රිකට් තරග සදහා පිරිනැමෙන ත්‍යාග මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 2.6කින් ඉහළ දැමීමය.

ඒ අනුව, ලබන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දු වාර 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් සහ අනුශූරියන්ට ඇමෙරිකානු ඩොලර් 500,000ක් පිරිනැමෙනු ඇත. එය 2018 වසරේ පිරිනැමුණු ත්‍යාග මුදල මෙන් පස් ගුණයක වැඩිවීමකි.

2021 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 දක්වා ඉහළ දමනු ඇත.

සිම්බාබ්වේ කණ්ඩායමට යළිත් සාමාජිකත්වය

Zimbabwe in action last month

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතර, මාස තුනක් පුරා තහනමකට ලක්ව සිටි සිම්බාබ්වේ වෙත යළිත් සාමාජිකත්වය පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

පසුගිය ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ද නොහැකි වූ සිම්බාබ්වේ හි සාමාජිකත්වය ජූලි මාසයේදී තහනම කරනු ලැබුවේ, දේශපාලනික අතපෙවීම් හේතුවෙනි.

ඒ අනුව, ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සදහා ඔවුන්ට අවස්ථාව හිමි වනු ඇත.

තවදුරටත් කියවන්න.