ගෝඨාභය රාජපක්ෂ අධිකරණයෙන් කළ ඉල්ලීම් දෙක

ගෝඨාභය රාජපක්ෂ

ඡායාරූප මූලාශ්‍රය, GR

හම්බන්තොට, මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ඒ ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් එල් ටී බී දෙහිදෙණිය, එස් තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 11 වන දා සිදුකිරීමට නියම කළේය.

ඒ අනුව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවමින් පනවා තිබෙන තහනම් නියෝගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා දීර්ඝ කෙරිණ.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ, තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ගොනුකර තිබෙන නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් එම අධිකරණය ප්‍රතික්ෂේප කළ බවය.

එම තීරණය වැරදි සහගත බව සඳහන් කරමින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත් අභියාචනාධිකරණය එය ද ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ දැක්වේ.

එබැවින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දු ප්‍රතිශෝධනය කර තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ගුවන් ගමන් බලපත්‍රය

මේ අතර වෛද්‍ය පරීක්ෂණයක් වෙනුවෙන් විදේශගතවීම සඳහා සහ ඉදිරි ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමේ කටයුතු සඳහා දැනට අධිකරණය භාරයේ පවතින සිය විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීම පිළිබඳව මේ මස 3 වනදා කරුණු දැක්වීමට පියවර ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය

හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසමක් සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.

එහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් තම සේවාදායකයා ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට තීරණය කර ඇති හෙයින් ඊට අදාළ නාම යෝජනා පත්‍ර භාර දීමේදී අනන්‍යතාවය තහවුරු කිරීමේ කටයුතු සඳහා දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

එමෙන්ම තම සේවාදායකයා මෑතකදී සිංගප්පූරුවේදී හදවත් සැත්කමකට භාජනය වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ පරීක්ෂණයක් සිදුකර ගැනීම සඳහා ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට අවශ්‍යව ඇති බවත් පැවසීය.

ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ඒ සඳහා විදෙස් ගමන් තහනම අදාළ කාලසීමාව තුළ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

ඊට ප්‍රතිචාර දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක කියා සිටියේ එම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බවය. එහෙත් විත්තිය විසින් මෙම ඉල්ලීම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති බැවින් මේ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැක්වීමට කල් අවශ්‍ය බව ද රජයේ නීතිඥවරයා දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල, නඩුව ඔක්තෝබර් මස තුන් වැනිදා කැඳවීමට නියම කළ අතර එදින විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා ගේ ස්ථාවරය දන්වන ලෙස රජයේ නීතිඥ වරයාට නියම කළේය.

ගෝඨාභය රාජපක්ෂ මෙම මෝසම ඉදිරිපත් කර තිබුණේ, පසුගිය රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම පිණිස රජයට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති නඩුවට අදාළවය.

ශ්‍රී ලාංකික පුරවැසිභාවය

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ බදාදා ( ඔක්තෝබර් 02) අභියාචනාධිකරණය ඉදිරියේ සලකා බැලීමට නියමිතය.

ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් අවිධිමත්ව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරුවන් ගේ චෝදනාව වී තිබේ.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි චෝදනා කරන පෙත්සම්කාර මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ, එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව ද කියා සිටිති.

අඟහරුවාදා (සැප්තැම්බර් 30) පැවති උත්සවයකදී අදහස් දක්වමින් මෙම චෝදනාව ගෝඨාභය රාජපක්ෂ එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. තමන් ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසිභාවය ලබාගත්තේ නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් බව ඔහු එහිදී සඳහන් කළේය.

කියවන්න: