පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක: කවුද මේ ගෝඨාභය රාජපක්ෂ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නම් කරන බව විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති එම පක්ෂ සම්මේලනයේදී නිවේදනය කළේය.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු නිලධාරියකු මෙන්ම එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කළ අවධියේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ කෙටි විමසුමකි.
- සම්පූර්ණ නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
- උපන් දිනය - 1949 ජුනි 20
- උපන් ප්‍රදේශය - දකුණු පළාත,මාතර ,පාලටුව
- අධ්‍යාපන සුදුසුකම් - ආරක්ෂක අධ්‍යනය පිළිබඳ පශ්චාත් උපාධිය - මැඩ්රාස් විශ්වවිද්‍යාලය , තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව කොළඹ විශ්වවිද්‍යාලය
- මවුපියන් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක
- සහෝදර සහෝදරියන් -චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඞ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනි රාජපක්ෂ
- බිරිඳ - අයෝමා රාජපක්ෂ
- පුතු - මනෝජ් රාජපක්ෂ (මුලාශ්‍ර gotabaya.info)
වෘත්තීය ජීවිතය - 1971 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණු ගෝඨාභය රාජපක්ෂ 1972 උප ලුතිනන්වරයකු වශයෙන් රාජකාරි ආරම්භ කර ඇත. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස් හා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති ඔහු 1992 වසරේදී ලුතිනන් කර්නල් නිලයට පත්විය. ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඞ්, ත්‍රිවිධ බලය යන හමුදා ක්‍රියාන්විතවලට ඔහු සහභාගී වී ඇත.
දිනා ඇති සම්මාන:
- රණ වික්‍රම පදක්කම
- රණ සූර පදක්කම
1992 හමුදා සේවයෙන් ස්වකැමැත්තෙන් විශ්‍රාම ගිය ඔහු අමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි පුරවැසි භාවය ලබා ගත්තේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යුද්ධය
2005 වසරේ ජනාධිපතිවරණය සඳහා එවකට අග්‍රාමාත්‍ය, සිය සොයුරු මහින්ද රාජපක්ෂට සහාය දක්වනු වස් ගෝඨාභය රාජපක්ෂ පෙරලා ශ්‍රී ලංකාවට පැමිණියේය. ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට ගෝඨාභය රාජපක්ෂ පත්කරනු ලැබුවේ 2005 නොවැම්බර් මාසයේදීය.
2006 දෙසැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් රථය ඉලක්ක කර කොළඹ පිත්තල හංදියේදී එල්ටීටීඊ සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඔහුගේ ජීවිතයට හානියක් නොවීය.
2009 මැයි 19 වෙනි දින එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජයට පත් වීමෙන් පසු දකුණේ සිංහල බහුතරය අතර ගෝඨාභය රාජපක්ෂ කැපී පෙනෙන චරිතයක් වශයෙන් මතු විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නගර අලංකරණය
ආරක්ෂක අමාත්‍යංශය 2011 වසරේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යනුවෙන් ප්‍රතිනාමකරණය වූ අතර එහි ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නගර අලංකරණය ඉලක්ක කරගෙන නිශ්චිත ව්‍යාපෘති කීපයක් ම දියත් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් නව නගර අලංකරණ ව්‍යාපෘතයට ලක්කළ ප්‍රධාන ස්ථාන:
- බත්තරමුල්ල දියත උයන
- නුගේගොඩ තෙත් බිම් උද්‍යානය
- අපේ ගම පරිශ්‍රය
- කොළඹ තුරඟ තරග පිටිය
- වේරැස් ගඟ උද්‍යානය
- ආකේඩ් වෙළඳ සංකීර්ණය
- කොළඹ හමුදා මූලස්ථානය
2015 පසු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2015 ආණ්ඩු පෙරලියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත් වී කටයුතු කළ අතර, ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන දියත් වූ ප්‍රහාර මෙන්ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය.
කෙසේ නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වනු ලබන්නේ දේශපාලන පළිගැනීම් සහ මඩ ගැසීම් වශයෙනි.
රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කීපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගෙන් අවස්ථා කීපයකදී ප්‍රකාශ ලබා ගෙන තිබේ.
ලසන්ත ඝාතනය
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට මාස කීපයකට පෙර සිදු වූ මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන යාම සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගත්තේ 2018 වසර අගභාගයේදී ය.
මේ වනවිට සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Twitter
දෙමළ ජාතික තරුණයකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබේ.
එකී චෝදනා ප්‍රතික්ෂේප කළ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිය නීතිඥයන්ට උපදෙස් දී ඇති බව කියා සිටියේය.
දූෂණ සහ අක්‍රමිකතා
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි ඔහුට මූල්‍ය වංචා චෝදනාවක් එල්ල වී තිබේ. ඊට අදාළව නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් සත් දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරූ නමුත් රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම වලකා ඇත.
'ඇවන්ගාඩ්' පාවෙන අවි ගබඩාවට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට එල්ල වන චෝදනා යටතේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා ඇත.
මීට අමතරව ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වේ.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඇමරිකානු පුරවැසිභාවය

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/FB
යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇමරිකානු පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි අවධානයක් යොමු විය.
ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීම සම්බන්ධයෙන් තාක්ෂණික බාධකය වී තිබුණේ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයයි. ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වීම සඳහා අයැදුම් කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සාමාජිකයන් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළ අතර ඔහු එයින් නිදහස් කළ බව දැක්වෙන ලිපි තමා සියැසින් දුටු බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පසුගියදා මාධ්‍යට පැවසීය. ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියේ ඊට අදාළ ලියකියැවිලි අගෝස්තු 11 වැනිදායින් පසුව මාධ්‍යට නිකුත් කරන බව ය.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය. නව විදේශ ගමන් බලපතෙහි ද්විත්ව පුරවැසි මුද්‍රාවක් නොමැති වීම තමා දැන් ශ්‍රී ලාංකික පුරවැසියකු බවට සහතිකයක් යැයි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණ. කෙසේ වෙතත් පවතින නෛතික තත්ත්වය යටතේ ද්විත්ව පුරවැසියකුට මැතිවරණයකදී නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කිරීම හෝ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නාමයෝජනාවලදී විරෝධතා පරීක්ෂා කිරීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට නැත.
ජනපති අපේක්ෂකත්වය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
19 වැනි සංශෝධනය මගින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපතිවරණයකට තරග කිරීමට ව්‍යවස්ථානුකූලමය වශයෙන් බාධාවක් මතුව ඇති වාතාවරණයක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නම් කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන විශාල පිරිසක් දිගින් දිගටම කියා සිටියහ.
එහෙත් තමා ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට සූදානම් බවට දේශපාලනික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පළමු වරට ඉඟියක් පළ කළේ පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මාධ්‍ය අමතමිනි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගියදා මාධ්‍ය හමුවේ පැවසුවේ 2019 වසරේ දෙසැම්බර් 09 වෙනි දින "පොහොට්ටුවේ ජනාධිපතිතුමා" දිවුරුම් දෙන බවත් අපේක්ෂකත්වයට සුදුස්සා ගෝඨාභය රාජපක්ෂ බවත්ය.
පරිපාලන වශයෙන් තම රාජකාරි කිරීමේදී සිමාවලට කොටු නොවී සම්මතයෙන් ඔබ්බට යමින් වගකීම ඉටු කළ බවත්, ඉදිරියේදීත් ජනතාව වෙනුවෙන් එපරිද්දෙන්ම කැප වන බවත්, සියලු ජන කොටස්වලට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සම්මේලනයේදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය බාරගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ පැවසුවේය.
සමස්ථ මැතිවරණ ව්‍යාපාරය නීතිගරුක සදාචාර මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පැවැත්වීමට කටයුතු කරන මෙන් පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බව කී ගෝඨාභය රාජපක්ෂ, පොලිතීන්, ප්ලාස්ටික්වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් දියත් කරන බවට සහතික විය.










