ජනාධිපති ධූර අපේක්ෂකත්වය: ජාතික ජනතා ව්‍යාපාරයෙන් නම් දෙකක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ

ඡායාරූප මූලාශ්‍රය, NPM/Ajith Colonne

ඡායාරූප ශීර්ෂ වැකිය, රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ සහ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ

හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ යන වෘත්තීයවේදීන් දෙදෙනාගේ නම් සිය ජනාධිපති ධුර අපේක්ෂකයන් ලෙස අභිමන් ලංකා සංවිධානය වෙත ඉදිරිපත් කරන බව ජාතික ජනතා ව්‍යාපාරය පවසයි.

අභිමන් ලංකා සංවිධානය යනු ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු තෝරා ගනු වස් ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන සහ ව්‍යාපාර ගණනාවකින් සැදුම්ලත් පොදු වේදිකාවකි.

ජාතික ජනතා ව්‍යාපාරයට අමතරව දැනටමත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය කර ඇති නීතිඥ නගානන්ද කොඩිතුවක්කු සහ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත අභිමන් ලංකා සංවිධානය සමග සාකච්ඡා පවත්වන සෙසු පුද්ගලයන් අතර වෙති.

දේශෝදය ව්‍යාපාරය සහ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය ඇතුළු සිවිල් කණ්ඩායම් විස්සක් ජාතික ජනතා ව්‍යාපාරයට ඇතුළත්ය.

සිය ව්‍යාපාරය විසින් දක්වන ලද ජනාධිපති අපේක්ෂකයකු සඳහා වන නිර්ණායක වලට අනුව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ සිය ව්‍යාපාරයේ අපේක්ෂකයන් ලෙස අභිමන් ලංකා වෙත ඉදිරිපත් කළ බව ජාතික ජනතා ව්‍යාපාරයේ නායකත්ව මණ්ඩලයේ සභිකයකු වන සේනක සිංහලගේ බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

"මේ දෙදෙනා දේශපාලනිකව බිහි වූ දෙදෙනෙක් නොවෙයි. වෘත්තීයවේදීන් දෙදෙනෙක්. මේ දෙදෙනාගේ නම් ඉදිරිපත් වෙන්නේ 'මමයි රජා වෙන්නේ' කියන බලාපොරොත්තුවෙන් නොවෙයි. දැනට විනාශ වෙලා තිබෙන රටේ දේශපාලනය සහ ආර්ථිකය ගොඩ ගැනීම හැර ඔවුන් නායකත්වය වෙනුවෙන් සටන් කරන්නේ නැහැ" යනුවෙන් ඔහු කියා සිටියේය.

කෙසේ වුවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍යය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ සමග රටපුරා යමින් ඔවුන් දෙදෙනාට ලැබෙන ජනතා ප්‍රතිචාරය සම්බන්ධයෙන් යම් අධ්‍යනයක යෙදීමට බලාපොරොත්තු වන බව සේනක සිංහලගේ වැඩිදුරටත් සඳහන් කළේය.

'අභිමන් ලංකා' පොදු අපේක්ෂකයා තෝරා ගන්නේ කෙසේද?

සැප්තැම්බර් 05 වෙනිදා වන විට ඒ ඒ ජනාධිපති අපේක්ෂකයා සතු සුදුසුකම් ඇතුළු දත්ත ඉදිරිපත් කිරීමට නියමිතය.

"ඊට අමතරව ඉදිරිපත් වන අපේක්ෂකයා සමග ඉන්න කණ්ඩායම, ඔහුට හෝ ඇයට දේශපාලන පක්ෂයක් තිබෙනවද?, ඒ වගේම රට පුරා සංවිධානාත්මක ව්‍යුහයක් තිබෙනවද, මුල්‍ය ශක්තිය වගේ කරුණුත් ඉදිරිපත් කළ යුතුයි" යනුවෙන් ජාතික ජනතා ව්‍යාපාරයේ නායකත්ව මණ්ඩලයේ සභික සේනක සිංහලගේ පවසයි.

ඉන් අනතුරුව පොදු එකඟතාවකින් සැකසුනු නිර්ණායකවලට අනුව ස්වාධීන මණ්ඩලයක් විසින් ඉන් එක් අයෙකු ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගනු ඇති බව කී ඔහු "ජනාධිපතිවරණයට පමණක් සීමා නොවී" ජාතික ජනතා ව්‍යාපාරය, ජනතා බලවේගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් කළේය.

විකල්පයක් අවශ්‍ය ඇයි?

නිදහසින් පසු දශක ගණනාවක අත්දැකීම් සහිත දේශපාලනඥයන් සහ දේශපාලන පක්ෂ සිටියදී එවැනි පසුබිමක් නොමැති වෘත්තීයවේදීන් දෙසට ජනතාව යොමු විය යුත්තේ ඇයිදැයි බීබීසී සිංහල සේවය හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහගෙන් විමසීය.

"අත්දැකීම් තියෙන කට්ටිය කරලා තියන දේවල් ගැන රටේ ජනතාවට අවබෝධයක් තියනවා නේද? ඒ අත්දැකීම් කියන දේ තවදුරටත් වලංගු සාධකයක් නොවන බව දැන් ජනතාව තේරුම් ගත යුතුයි. ඔවුන් ඒ දේ තේරුම් ගනිමින් ඉන්නවා" යනුවෙන් ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේය.

නීතියේ ආධිපත්‍ය පිහිටුවීම, නාස්තිය සහ දූෂණය පිටුදැකීම සහ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කරුණුවලට මූලිකත්වය ලබා දෙමින් රට දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යොමු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනතාව වටහා ගත යුතු යැයි හිටපු විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

"දේශපාලනඥයෝ හැසිරෙන්නේ කොහොමද කියලා රටම දකිනවා, රටම දන්නවා. ඒ නිසා ඉවසීමෙන් අවංකව වැඩ කරන පුද්ගලයන් පිරිසක් ඉදිරියට ගැනීමට ජනතාවට වගකීමක් තිබෙනවා. 'මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. මෙහෙම කළොත් ඒක විසඳන්න පුළුවන් පුළුවන්' කීම පමණයි අපට කළ හැක්කේ. ඒ සඳහා ඇහුම්කම් දී තීන්දුවක් ගත යුත්තේ ජනතාවයි,"

"බුද්ධිමතුන්ගේ නිහඬ බවත් හිස් මිනිසුන්ගේ ඝෝෂාවත් රට නිහඬ කරනවා කියන කාරණය රටේ වර්තමානයට හොඳින් ම ගලපන්න පුළුවන් තත්ත්වයක තිබෙන්නේ. වෘත්තයවේදීන් වශයෙන් අප ඉදිරියට පැමිණ තිබෙන්නේ ඒ නිසයි. තවමත් අපි ප්‍රමාද නැහැ" හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ වැඩිදුරටත් කියා සිටියේය.