දවල් කෑමට ජාඇළ සිට දෙහිවලට එන පැස්තුඩු හමුදාව "සත්වෝද්‍යානයට ආකර්ෂණයක්"

- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, BBC සිංහල, කොළඹ
දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ඉහළ අහසේ දහවල් දොළහත් දෙකත් අතර කාලයේදී ගුවන් යානා ගොඩබස්සන ආකාරයේ සුන්දර දසුනක් දක්නට ලැබේ.
ඒ කොළඹ අවට ජීවත් වන පැස්තුඩුවන් [Pelican] සියයකට අධික සංඛ්‍යාවක් දිනපතා දෙහිවල සත්වෝද්‍යානයේ ''ගල් වළ'' ලෙසින් හඳුන්වන ස්ථානයට පැමිණීම නිසාය.
බේරේ වැව, දියවන්නාව, අත්තිඩිය, මහරගම ආදී ප්‍රදේශවල සිට මෙන්ම ජාඇළ වැනි ප්‍රදේශවල සිට ද පැස්තුඩුවන් ආහාර ගැනීමට මෙහි පැමිණෙන බව ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
දෙහිවලට පැමිණෙන පැස්තුඩුවන් සඳහා දිනපතා පස්වරු දෙකත්, දෙකයි තිහත් අතර කාලයේදී තිලාපියා මසුන් කිලෝ හතළිහක් සැපයීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ආහාර ලබාදෙන තුරු පැස්තුඩුවෝ ''ගල්වලේ'' පිහිනමින් හා ඒ අවට ඇති විශාල ගස් මත වසා සිටිති.
සත්වෝද්‍යානයට අයත් ආහාර ගබඩාවේ සිට ''ගල්වල'' ලෙසින් හැඳින්වෙන ස්ථානයට තිලාපියා මසුන් ප්‍රවාහනය කරනු ලබන්නේ අත් ට්‍රැක්ටර්යක් මගිනි.
එම අත් ට්‍රැක්ටරය පණගන්වන හඬ ඇසෙත්ම පැස්තුඩුවන් ක්ෂණිකව කලබලයට පත් වී එදෙසට පියඹා එන ආකාරය දුටුවන්ගේ නෙත් වසඟ කරන දසුනකි.
ඇතැම් දිනවල පැස්තුඩුවන් අත් ට්‍රැක්ටරය පසු පසින් ගමන් කරන විට හමුදා භට පිරිසක් ආචාර පෙළපාලියක ගමන් කරන ආකාරය සිහිපත් වන බව සත්වෝද්‍යාන සේවකයෝ පැවසූහ.
වර්තමානයේ නිතර දක්නට ලැබෙන්නේ තිත්හොට පැස්තුඩුවන් [Spot-billed Pelican] ය.
පැස්තුඩුවන් විශේෂ නවයක් ලෝකයේ ජීවත් වන අතර ඉන් විශේෂ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. අනෙක් විශේෂ දෙක සංක්‍රමණිකයන් ය.
තිත්හොට පැස්තුඩුවන් දස දෙනෙකු 70 දශකයේ මැද භාගයේදී කුමන කුරුලු පාරාදීසයෙන් අල්ලාගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබේ.
දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් පැවසුවේ එවකට අධ්‍යක්ෂ ජනරාල් පදවිය දැරූ ලීන් ද අල්විස් ගේ අදහසකට අනුව තිත්හොට පැස්තුඩුවන් දෙහිවලට රැගෙන ආ බවය.

ඔවුන් සත්වෝද්‍යානයේ''ගල්වල'' අසළ ජිවත් වී තිබෙන අතර කාලයත් සමග තිත්හොට පැස්තුඩුවන්ගේ ගහනය වැඩි වී ඇත.
එබැවින් එම පක්ෂීන්ට වසා සිටීමට ප්‍රමාණවත් තරම් විශාල ගස් නොතිබීම හා ආහාර හිඟය යන කරුණු නිසා මෙම පැස්තුඩුවන් බේරේ වැව, දියවන්නාව සහ රත්මලාන ආදී ප්‍රදේශ දක්වා පැතිර ගිය බව පක්ෂි විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.
මෙම පක්ෂීන්ට ආහාර ලබා දීමට හා ඉතා සමීපයට ගොස් ඡායාරූප ලබා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදාවන බැවින් පැස්තුඩුවන් හේතුවෙන් දෙහිවල සත්වෝද්‍යානයට විශාල ආකර්ශනයක් හිමි වන බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී බීබීසී සිංහල සේවයට පැවසුවා ය.
''සත්තු වත්තේ කූඩුවල දාලා ප්‍රදර්ශනය කරන සත්තු වගේම නිදහසේ ඉන්න සත්තුත් ඉන්නවා. එහෙම නිදහසේ ඉන්න සත්තුන්ගේ විශාලම ගහනය දක්නට ලැබෙන්නේ පැස්තුඩුවන් ගේ.''
ඇය වැඩිදුරටත් පැවසුවේ සත්වෝද්‍යානයේ සිටින සතුන්ට පරිබාහිරව සිටින සතුන් සංරක්ෂණයට ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවට මෙය හොඳ නිදසුනක් බවය.
ආහාර පුරවා ගන්නා 'මල්ල'
දිග හොටක් සහ ඊට සම්බන්ධ පැසක් සහිත වීම නිසා පැස්තුඩුවන් හඳුනාගැනීම එතරම් අපහසු නොවේ. දේහය අඳුරු සුදු පැහැතිය. රංචු වශයෙන් වතුරේ පිහිනමින් ආහාර සොයන ආකාරය ඉතා සිත් ගන්නා සුළුය.
ඔවුහු ගොදුරු අල්ලා ගැනීමට හොටෙන් දිය තුළට අනිති. ඇතැම් අවස්ථා වලදී රංචු පිටින් එක්ව මසුන් වට කර අල්ලා ගනිති. ආහාර ලැබුණු විට පැස තුළට එකතු කර ගෙන ගිල දමති.

ජල තලය මත පැස්තුඩුවන් වසන ආකාරය ද ඉතා සිත්ගන්නා සුළුය. ජලයට පහත් වී ටික දුරක් ගමන් කර පාද තිරිංග ලෙස යොදා ගෙන වේගය අඩාල කරගන්නා පැස්තුඩුවෝ පිහිනන විට ශරීරයෙන් 3/4 ක් දිය මතු පිටින් ඉහළට සිටින සේ ගමන් කරති.
දෙහිවල සත්වෝද්‍යානයට පැමිණ ආහාර ලබාගැනීමෙන් අනතුරුව පැස්තුඩුවෝ යළි උන්ගේ නවාතැන් සොයා පිටත්ව යති.
ඒ සමඟම පසුදින දහවල් වන තුරු සත්වෝද්‍යානයේ ''ගල්වල'' පාලුවට යයි.
කියවන්න:









