පාස්කු ප්‍රහාර: "රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට"

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරයක් නිසා හානි වූ කටුවාපිටිය දේවස්ථානය

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජුලි 24 වෙනිදා කැඳවන බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි පවසයි.

ඔහු මේ බව බීබීසී සිංහල සේවයට පැවසුවේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉදිරි කටයුතු ගැන විමසූ අවස්ථාවේදීය.

ජුලි 24 වෙනිදා උදෑසන 10.30ට කමිටුවේ සාක්ෂි විමසීම අරඹන බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් විශේෂ කාරක සභාව ඉදිරියට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට ඉහතදී අවධාරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ ද ජුලි 24 වෙනිදා කාරක සභාව ඉදිරියට කැඳවා තිබේ.

ඔවුන් මීට ඉහතදී ද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියට කැඳවා තිබුණ ද ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔවුන් කැඳවීම පිළිබඳව අවිනිශ්චිත තත්වයක් පැවතින.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි තවදුරටත් පැවසුවේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අගෝස්තු මස මුල් සතිය වන විට සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

අප්‍රේල් 21 වෙනිදා දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගිය අතර තුවාල ලැබූ ගණන 500කට අධිකය.

ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින්

ඡායාරූප මූලාශ්‍රය, youtube

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙමින්

කියවන්න:

පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට විරෝධය පළ කරමින් තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජුනි 07 වෙනි දින පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි.

ඉන් අනතුරුව සතියකට වරක් අඟහරුවාදා දිනයේ පැවැත්වෙන කැබිනට් රැස්වීම ජූනි 11 වන දා නොපැවැත්විණ.

දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් නොවිය යුතු බවත්, ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමා භාරගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

කෙසේ වෙතත්, කතානායක කරු ජයසූරිය ජූනි මස 8 වන දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පාර්ලිමේන්තුවේදී ඇති කර ගත් එකඟත්වයකට අනුව තේරීම් කාරක සභාව ක්‍රියාත්මක වන බවය.

"වර්තමානයේ පවතින නීතිය අනුව යම් නිලධාරියෙක් පාර්ලිමේන්තුවේ කැඳවීමකට අවනත වීමට බැඳී සිටී. එය කඩ කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ඔවුනට පැහැදිලි අවබෝධයක් ඇති බව නිසැකය," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් විය.

විශේෂ කාරක සභාව පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් එවන ලද ලිපියක් කතානායක කරු ජයසූරිය වෙත යොමු කළ නමුත් කතානායකවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබුණි.

එහෙත් ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කතානායක කරු ජයසූරිය කියා සිටියේ, අදාළ ලිපිය කාරක සභාවට විනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොවූ බවය.

තවත් ලිපි: