ජාතික බුද්ධි ප්‍රධානියා අස් වුණා ද? අස් කළා ද?

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් වළක්වා ගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කර තිබුණි

ඡායාරූප මූලාශ්‍රය, youtube

ඡායාරූප ශීර්ෂ වැකිය, පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයන් වළක්වා ගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කර තිබුණි

ජාතික බුද්ධි ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස්, ජනාධිපතිවරයා විසින් එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නමුත් බුද්ධි ප්‍රධානියාගේ තනතුර හිස්වීම දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉල්ලා අස්වීමක් හැටියට ය.

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර වළක්වා ගත හැකිව තිබූ බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කර තිබුණි.

ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ඇතිවිය හැකි තර්ජනය නිසි ලෙස තක්සේරු කිරීම සඳහා ආරක්ෂක විමර්ශන රැස්වීම් නිතිපතා නොපැවැත්වුණු බවත් ඔහු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පැවසීය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව ඉන්දියාවේ බුද්ධි අංශ කල් තියා අනතුරු ඇඟවීම් කර තිබියදීත් එය වළක්වා ගැනීමට නොහැකි වීම ගැන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට සහ රජයට දැඩි චෝදනා එල්ල විය.

ජනාධිපතිවරයාගේ ස්ථාවරය

දැනට සේවයේ නිරතව සිටින ආරක්ෂක අංශවලට අයත් කිසිදු නිලධාරියෙකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් නොවිය යුතු බවත්, ඔවුන් සියලු දෙනා පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (ජුනි 07) පැවසීය.

මේ ගැනත් කියවන්න:

පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහයෝගය නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපතිවරයා පවසයි.