පාස්කු ඉරිදා ප්‍රහාරය: 'සැකකරුවන්' සෞදි අරාබියෙන් ශ්‍රී ලංකාවට රැගෙන එයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගත් මොහොමඩ් මිල්හාන් නමැති පුද්ගලයා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.
බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ, සිකුරාදා (ජුනි 14) අලුයම ඔවුන් දිවයිනට රැගෙන ආ බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල සැකකරුවන් අලුයම 04ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බව ද පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය.
ඔවුන් අත්අඩංගුවට ගත් ආකාරය ගැන තොරතුරු ලබා දීම පොලිසිය ප්‍රතික්ෂේප කළේය.
එමෙන්ම, පාස්කු ඉරු දින ප්‍රහාරය සැලසුම් කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයා සමඟ සබඳතා පැවැත්වූ බව පැවසෙන පුද්ගලයෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඉන්දීය ත්‍රස්ත මර්දන බලධාරීන් කියා සිටියේ තිස් දෙහැවිරිදි මොහොමඩ් අසරුදීන්, පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමග ෆේස්බුක් ඔස්සේ මිතුරුව සිට ඇති බවය.
ඉහත කී ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාමීය රාජ්‍ය (අයිඑස්) වගකීම භාර ගෙන තිබේ.
ඉහත කී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දකුණු ඉන්දියාවේ කොයිම්බතෝර් (Coimbatore) නගරයේ අයිඑස් තිත්පොලක් ලෙස සැක කෙරුණු ස්ථානයක කළ වැටලීමකින් පසුවය.
පාස්කු දින ප්‍රහාර මාලාවට හසුව දෙසිය පනහකට අධික පිරිසක් මරණයට පත් වූ අතර තුවාල ලද පිරිස පන්සීයකට අධිකය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් මෙහෙයවන ලද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) කියා සිටියේ තවත් පුද්ගලයන් පස් දෙනෙකු රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කෙරෙන බවය.
අදාළ ඒකකය විසින් මොහොමඩ් අසරුදීන්ට සහ සෙසු සැකකරුවන්ට එරෙහිව මැයි 30 වෙනිදා පැමිණිල්ලක් ගොනු කරනු ලැබ ඇති බව මාධ්‍ය නිවේදනයක දැක්වේ.
කොයිම්බතෝර් නගරයට යාබද උක්කඩම් (Ukkadam) ප්‍රදේශය තුළ රාජ්‍ය බුද්ධි සේවා සහ පොලිසිය එක්ව තවදුරටත් වැටලීම් සිදු කරේ. මොහොමඩ් අසරුදීන් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු එම ප්‍රදේශයේ පදිංචිකරුවන් යැයි බලධාරීහු පවසති.
සැකකරුවන් හය දෙනාම අයිඑස් මතවාදය "ව්‍යාප්ත" කර ඇති බවට ෆෙඩරල් විමර්ශකයෝ චෝදනා කරති. කොයිම්බතෝර් අයත් තමිල් නඩු ප්‍රාන්තය ඇතුළු දකුණු ඉන්දියාව තුළ ප්‍රහාර එල්ල කිරීම සඳහා "පහසුවෙන් ගොදුරු විය හැකි තරුණයන්" සිය කණ්ඩායමට එක් කර ගැනීම සඳහා සැකකරුවන් උත්සහ කර ඇති බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකාවේ සහය ලබන හමුදා විසින් සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක වූ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම මේ වසර ආරම්භයේ දී ඉන් පළවා හරිනු ලැබීමෙන් අනතුරුව ලොව පුරා ඇති අයිඑස් තිත්පොළ පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු විය.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට පෙර ඇමරිකාව සහ ඉන්දීය බුද්ධි අංශ ඒ පිළිබඳ කළ පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වූ බවට ශ්‍රී ලංකා බලධාරීන්ට චෝදනා එල්ල වේ.
අයිඑස් තිත්පොළ ලෙස සැකකෙරෙන ස්ථාන සම්බන්ධයෙන් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය (NIA) පසුගිය අප්‍රේල් මාසයේ සිට සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කළේය.
මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ බව විශ්වාස කෙරෙන කේරල ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු ද ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
දිල්ලි නගරයට පහරදීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් "අයිඑස් මග ගිය කණ්ඩායමක" සාමාජිකයන් ගණනාවක් ද ඉහත කී ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.








