අතුරලියේ රතන හිමිගේ උපවාසය, හිස්බුල්ලා සහ මුස්ලිම් ඇමතිවරු

පසුගිය පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් අනතුරුව ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ වරින් වර විවිධ ආන්දෝලන මතුවෙමින් තිබේ.

250කට අධික පිරිසක් මරා දමමින් 500කට අධික පිරිසක් තුවාල ලැබූ එම ප්‍රහාරයට ජාතික තවුහීද් ජමාත් නම් අන්තවාදී සංවිධානය සම්බන්ධ බව ආරක්ෂක අංශ පවසති.

මේ අතර ජාතික තවුහීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතා පැවැත් වූ බවටත් අන්තවාදයට සහය දක්වන බවටත් රජයේ මුස්ලිම් දේශපාලකයන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල විණි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්, බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාත් සාලි සහ සහ නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ඒ අතර විය.

විශේෂයෙන් ම ප්‍රහාරය සිදුවූ දිනට පසු දින එනම් අප්‍රේල් 22 දින රාත්‍රියේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා පොලිස් ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සෞදි අරාබි ජාතිකයින් තිදෙනෙකු හමුවන අවස්ථාවක බව පැවසෙන සීසීටීවී වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය හරහා මේ දිනවල සංසරණය වේ.

තත්ත්වය මෙසේ තිබියදී, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පසුගිය මැයි 31 වන දා මහ නුවර දළදා මාලිගාව අභියස උපවාසයක් ඇරඹීය.

අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන්, බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි සහ සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා ඉල්ලා අස්විය යුතු බව උන්වහන්සේගේ ප්‍රධාන ඉල්ලීම විය.

රතන හිමිගේ උපවාසයට විවිධ පාර්ශවවල සහයෝගය ද ලැබිණි.

පසුගිය දා ජනාධිපති සමාව යටතේ සිර දඬුවමින් නිදහස් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමි උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණ සඳුදා (ජුනි 03) දහවල් 12 වන විට මේ ප්‍රශ්නය විසඳිය යුතු බව කීහ.

ඉන්පසු සඳුදා (ජුනි 03) බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අසාත් සාලි සහ සහ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා තම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයාට භාර දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ජනාධිපතිවරයාගේ එම තීරණය, මධ්‍යම පළාතේ ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න තමාට දැනුම් දුන් බව තම උපවාසය නිමා කළ පසු රතන හිමි පැවසූහ.

අනතුරුව සඳුදා දහවල් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ඇතුළු අනෙක් මුස්ලිම් ජාතික ඇමතිවරු ද සිය තනතුරුවලින් ඉල්ලා අස් වන බව නිවේදනය කළහ.

මින් මතුවන කරුණු:

ශ්‍රී ලංකාව බහු වාර්ගික සහ බහු ආගමික රටක් බවට සහ එසේ නොවන බවට විවිධ මත ඉදිරිපත් වෙමින් පවතින අතර 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් අනතුරුව සම්පාදනය කෙරෙන තුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අත ගසා ඇතත් එම කාරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමින් තවමත් එකඟතාවක් ඇති වී නොමැත.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ සිදුවෙමින් පවතින සිදුවීම් නිසා රට තුළ නීතිය සහ සාමයට බලපෑම් ඇති වෙතැයි තමන් සිතන බවය.

ලංකා වාණිජ මණ්ඩලය පවසන්නේ සමහර පාර්ශවයන්ගේ ක්‍රියා දෙස බැලීමේදී තමන්ට එය හැඟෙන බවය.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පාර්ශව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිය ක්‍රියාත්මක කර සැකය දුරලීම සිදුවිය යුතු බව ද ඔවුහු පවසති.

සමාජ මාධ්‍ය ප්‍රතිචාර

ෆේස්බුක් පණිවුඩයක් නිකුත් කරමින් ලේඛක තිඹිරියාගම බණ්ඩාර පවසන්නේ, වර්තමානයේ සිදුවන ක්‍රියා දේශපාලනමය වශයෙන් නුසුදුසු බවය.

"එදා සිරිල් මැතිව්ලා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ට කොටි ලේබල් ගහල පාර්ලිමේන්තුවෙන් එලවලා දැම්මා. විපක්ෂ නායක අමිර්තලිංගම් ඇතුළු 16ක් එළියට ගියා. ඒ මන්ත්‍රීවරුන්ගෙන් සමහරු පස්සෙ කොටින්ගෙන් වෙඩි කාලා මැරුණා. සන්දර්භ දෙකක් වුවත් මෙදා සිද්ධ වෙන දේ එදා දේට සමහර කරුණු අතින්‍ සමානයි. ප්‍රජාතතන්ත්‍රවාදී ව්‍යුහයෙන් මහජන නියෝජිතයන් ඇද දැමීම භයානකයි," යනුවෙන් ඔහු සඳහන් කර තිබිණි.

"උපවාසෙ ගැන නම් කතා කරල වැඩක් නෑ. ජාතිය වඳ කිරීමේ භීතිකාව දේශපාලන තුරුම්පුවක්..."

මේ අතර සමන් නන්දලාල් පවසන්නේ, "කබිර් හෂීම් වැනි සෘජුව ම පවතින දේශපාලන පක්ෂයකින් එන අයත්, ජාතීවාදි දේශපාලන පක්ෂයකින් ඇවිල්ලා කේවල් කරන අයත් අතර වෙනසක් තිබෙනවා. මෙවුන් එහාට පනිනවා, ආයි මෙහාට පනිනවා. තමන්ගේ පැවැත්ම සඳහා ජාතිය උපයෝගී කර ගන්නවා," යනුවෙනි.

පවතින තත්ත්වය පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දඹර අමිල හිමියන් පැවසුවේ අනාගත දේශපාලන අරමුණු ඉලක්ක කර ගනිමින් ඇතැමුන් මුස්ලිම් සමාජය කෙරෙහි වෛරයක් පැතිරවීමේ උත්සහයක නිරත වන බවය.

පරාජිත දේශපාලකයන් පිරිසක් මේ පිටුපස සිටින බවට ද උන්වහන්සේ චෝදනා කරති.

"මැතිවරණවලදී ජනතාව අතරින් ගිලිහී ගිය මෙම පිරිස් තම ජනප්‍රියත්වය තහවුරු කර ගැනීමට දරන උත්සහයක් ලෙස මෙම විරෝධතා හඳුන්වන්න පුළුවන්," අමිල හිමි පැවසීය.

"මුස්ලිම් නායකයින්ට එරෙහිව විරෝධතා දියත් කිරීම තුළින් ත්‍රස්තවාදය සහ අන්තවාදය පිටු දැකීමේ අරමුණ සාක්ෂාත් කර ගන්න බැහැ."

රටේ නීතිය හා සාමය අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැවින්, ඔහුට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා රතන හිමියන් උපවාස කරනු ඇත්දැයි මේ අතර තවත් අය විමසති.

"මෙච්චර පොලිටිකල් ඩ්‍රාමා තියෙන රටක් ලෝකෙ වෙන කොහෙවත් නෑ. වෙන රටවල්වල ආණ්ඩු රට පාලනය කරනව. මෙහේ ආණ්ඩු ඩ්‍රාමා අහ් සොරි සෝප් ඔපෙරා පෙන්නනව" යනුවෙන් නදී වාසලමුදලිආරච්චිගේ ෆේස්බූක් සටහනක් මගින් පවසන්නීය.

ශ්‍රී ලංකාව තුළ මීට පෙර කිහිපවරක් මුස්ලිම් විරෝධී කෝලාහල සිදුව තිබේ.

මෑත කාලීන ගැටුම්:

මිනුවන්ගොඩ: 2019 මැයි 13

ඉන් ආසන්න ම සිදුවීම වූයේ පසුගිය මැයි මස 13 වන දාය. ඒ පාස්කු ඉරු දින ප්‍රහාරයට එරෙහිව යැයි පවසමින් ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයින් සතු දේපළ විනාශ කිරීමය.

එහිදී එක් මුස්ලිම් ජාතිකයෙකු මරණයට පත්විය. එම ප්‍රහාර සඳහා පිටින් පැමිණි කණ්ඩායම් සහභාගී වී ඇති බවට චෝදනා එල්ල වේ.

දිගන, මහ නුවර: 2018 පෙබරවාරි/මාර්තු

මහ මාර්ගයේ ඇති වූ පුද්ගලික ගැටුමක් මෙහිදී සිංහල - මුස්ලිම් ගැටුමක් බවට වර්ධනය විය. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත් වූ අතර දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රාශියක් ඉන් විනාශයට පත්විය.

අලුත්ගම, බේරුවල: 2014 ජුනි

අලුත්ගමින් අරම්භ වී බේරුවල සහ දර්ගා ටවුන් වැනි ස්ථාන කීපයක දින කීපයක් සිංහල-මුස්ලිම් ගැටුම් පැතිර ගියේය.

ඉන් සිව් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් විස්සකට ආසන්න පිරිසක් තුවාල ලද බවට වාර්තා විණි.

උන්හිටිතැන් අහිමි වූ සංඛ්‍යාව දහසකට අධික විය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව බලයේ සිටි රාජපක්ෂ ආණ්ඩුවෙන් ඈත්ව විපක්ෂය කරා ඇදී යෑමෙන් ආණ්ඩු වෙනසකට පවා එය හේතු වීම මගින් අලුත්ගම ගැටුම දේශපාලන වශයෙන් තීරණාත්මක කඩඉමක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

කියවන්න: