ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ සිදුවූ IS ප්‍රහාරයන් නිසා ආණ්ඩුවට විශ්වාසභංග යෝජනාවක්: චෝදනා මොනවාද?
ජනතා විමුක්ති පෙරමුණ විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
"අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්වය" අඟහරුවාදා (මැයි 21) පෙරවරුවේ කතානායක කරු ජයසූරිය වෙත භාර දෙනු ලැබිණි.
මෙම විශ්වාසභංග යෝජනාවේ අරමුණ කුමක් ද? එහි අඩංගු කරුණු මොනවාද?
- 1. වර්ෂ 2019ක් වූ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දින කොළඹ, මීගමුව, මඩකලපුව යන ප්‍රදේශවල සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඇතුළු දෙසිය පනහකට අධික පිරිසක් ඝාතනය වීමත්, තවත් පන්සීයකට ආසන්න පිරිසක් තුවාල ලැබීම සහ එකී බෝම්බ ප්‍රහාර හේතුවෙන් වූ දේපළ හානිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුව වෙත නිල වශයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී සාපරාධී නොසැලකිල්ලෙන් පහත සඳහන් කෙරෙන ක්‍රියාවන් කරමින් හෝ නොකර හැරීමෙන් ප්‍රහාරය අවශ්‍යයෙන් ම වළකා ගැනීමට හෝ හානිය අවම කරගත හැකිව තිබීම.
අ) 2019 මැයි 08 වන දින අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ පරිදි 2014 වර්ෂයේ සිට අයි එස් අයි එස් ඉස්ලාම් අන්තවාදී සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ පිරිස් විවිධ සබඳතා පැවැත් වූ බවත් විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණ බවත් දැන සිටිය දී ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට අපොහොසත් වීම.
ආ) විවිධ ඉස්ලාම් ආගමික අන්තවාදී සංවිධාන මුස්ලිම් සමාජය තුළ ක්‍රියාත්මක වන බවට මුස්ලිම් ප්‍රජාව විසින් ම විවිධාකාරයෙන් ආණ්ඩුව සහ වගකිව යුතු ආයතන දැනුවත් කර තිබිය දී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම.
ඇ) කාන්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට විවිධ අවස්ථාවල එල්ල කරන ලද තර්ජන සහ ප්‍රහාර සම්බන්ධයෙන් 2019 අප්‍රේල් මස 21 වන දින බෝම්බ පුපුරවාගෙන මිය ගිය සහරාන් හෂීම් සහ 2019 අප්‍රේල් මස 26 වන දින සයින්දමරුදුහි දී බෝම්බ පුපුරුවාගෙන මිය ගිය ඒ එල් එම් නියාස් යන අයවලුන්ට එරෙහිව අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබිය දී සහ එකී වරෙන්තුකරුවන් කාන්තන්කුඩි ප්‍රදේශයේ ප්‍රසිද්ධව විවිධ ක්‍රියාකාරකම්වල යෙදී සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම.
ඈ) වර්ෂ 2018ක් වූ දෙසැම්බර් මස 24 වන දින මාවනැල්ලේ දී බුද්ධ ප්‍රතිමාවන් හානි කිරීම සම්බන්ධයෙන් සහරාන් හෂීම් ප්‍රමුඛ කණ්ඩායමක් සම්බන්ධ බවට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සලය විසින් ජාතික බුද්ධි අංශය වෙත 2018 දෙසැම්බර් මස 28 වන දින දැනුම් දී තිබියදී හා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැක කරමින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබියදීත් විමර්ශන ඉදිරියට ගෙන යාම වළක්වමින් ඒ සඳහා මැදිහත් වීම් තිබුණු බව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් ම ප්‍රකාශ කර තිබීම.
ඉ) මෙම ප්‍රහාරයන්ට සැලකිය යුතු කාලයකට පෙර සිට ශ්‍රී ලංකාව තුළ ඉස්ලාම් අන්තවාදී සංවිධානවල විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් අයිඑස්අයිඑස් සංවිධානය සමඟ බැඳී කටයුතු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් නීතිමය සහ ආරක්ෂක පියවර ගැනීමට අපොහොසත් වීම.
ඊ) ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු වන අගමැතිවරයා ආරක්ෂක මණ්ඩල සභාවාරයන්ට සහභාගි නොවීමෙන් රටවැසියා වෙත ඔහු විසින් ඉටුවිය යුතු මූලික වගකීම් පැහැර හැරීම.
එ) විදේශීය ඔත්තු සේවාවන් විසින් ශ්‍රී ලංකාව තුළ කතෝලික පල්ලි හා හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කෙරෙන බවත්, එයට සම්බන්ධ පුද්ගලයන් හා ඔවුන්ගේ දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංක ඇතුළු නිශ්චිත තොරතුරු ලබා දී තිබියදී එම තොරතුරු මත පදනම්ව කටයුතු කිරීම පැහැර හැරීම.
වැඩිමනත් ලෙස 2019 අප්‍රේල් 21 වන දින එකී ප්‍රහාරයන්ට පෙර අදාළ විදේශ ඔත්තු සේවාවන් විසින් නැවතත් මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් නිශ්චිතව අනතුරු අඟවා තිබියදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම පැහැර හැරීම.
ඒ) 2019 අප්‍රේල් 11 වන දින නියෝජ්‍ය පොලිස්පති විශේෂ ආරක්ෂක දිසාව ප්‍රියලාල් දසනායක මහතා විසින් Information of an alleged plan attack යන ශීර්ෂය හා DIG/SPR/126/ 4.19 නැමැති ලිපිය මගින් 2019 අප්‍රේල් 21 වන දින නිශ්චිත ස්ථාන ඉලක්ක කර ගෙන සැලසුම්ගත මරාගෙන මැරෙන ප්‍රහාරයන් එල්ලවන බවට, එනම් "ජාතික තව්හිත් ජමාත් නායක මොහොමඞ් සහරාන් මෙරට මරාගෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන ලද බවට තොරතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාව මගින් ලබා දී තිබෙන වාර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින්" යනුවෙන් සඳහන් ලිපිය පහත නම් සඳහන් එනම්,
■ අධ්‍යක්‍ෂ /ඇමති ආරක්ෂක කොට්ඨාසය
■ අධ්‍යක්‍ෂ / අධිකරණ ආරක්ෂක කොට්ඨාසය
■ අධ්‍යක්‍ෂ / විශ්‍රාමික ජනාධිපති කොට්ඨාසය
■ වැඩ බලන අධ්‍යක්‍ෂ /තානාපති ආරක්ෂක කොට්ඨාසය (iv)
■ වැඩ බලන අධ්‍යක්‍ෂ / විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය (v)
යන අයවලුන්ට පූර්වයෙන් ලබා දී තිබීම හා ඒ පිළිබඳ කටයුතු කිරීම පැහැර හැරීම.
- 2. 2019 අප්‍රේල් 21 වන දින සිදු කරනු ලැබූ ප්‍රහාර මාලාවෙන් පසුව අගමැතිවරයා සහ අමාත්‍යවරුන් විසින් එකී ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වූ වගකීම භාර නොගෙන එම වගකීම වෙනත් පාර්ශවයන්ට පැවරීමට උත්සහ කරමින් ද රජයේ අමාත්‍යවරුන් විසින් වගකීම් විරහිත, පරස්පර සහ සාවද්‍ය ප්‍රකාශයන් සිදු කරමින් රටේ සාමාන්‍ය ජනජීවිතය හා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාකූලභාවයක් සහ අනාරක්ෂිතභාවයක් ඇති වන පරිදි කටයුතු කර තිබීම.
- 3. 2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාවලියට බාධා කරමින් සහ එකී අපරාධයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට බාධා කරමින් හෝ වළක්වමින් ආණ්ඩුවේ සමහර අමාත්‍යවරුන් කටයුතු කර තිබීම.
- 4. 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවෙන් පසුව තවත් එවැනි ප්‍රහාර මාලාවක් ඇති වීම හෝ වෙනත් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවන් සිදු කිරීම මැඩපැවැත් වීම සඳහා අවශ්‍ය පූර්ණ නීති මාලාවක් රාජ්‍යය සතුව තිබියදී 2019 මැයි 13 වන දින ගම්පහ ප්‍රදේශයේ සහ වයඹ පළාතේ සිදු වූ අන්තවාදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා එනම් මනුෂ්‍ය ඝාතන, දේපළ හානි සහ ජනතාව අතර ගැටුම් ඇති වීම වැළැක්වීම සඳහා නිසි අවධානයකින් සහ වගකීමෙන් කටයුතු නොකිරීමෙන් සහ එකී සිද්ධීන් මැඩ පැවැත්වීම සඳහා ගතයුතු නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම මත ජනතාව සම්බන්ධයෙන් රජය විසින් ඉටුකළ යුතු යුතුකම් වගකීම් නිසි ආකාරයෙන් ඉෂ්ට කිරීම පැහැර හැරීමෙන් සහ 2019.04.21 වන දින ප්‍රහාර මාලාවෙන් පසුව රටෙහි විවිධ ජනවර්ගයන් අතර නොසන්සුන්කාරී තත්වයන් සහ ප්‍රහාරවලට යොමු වීමේ ප්‍රවණතාවයක් තිබියදී එකී ප්‍රහාරයන් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම.
- 5. එකී පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් මසක් ගතවී තිබියදී රටෙහි සාමාන්‍ය ආර්ථික ක්‍රියාවලිය නැවත ගොඩනැගීමට අසමත් වීම, රටෙහි පාසල් සහ සරසවි අධ්‍යාපන ක්‍රියාවලිය නැවත ගොඩනැගීමට අසමත් වී ඇති හෙයින්ද රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ක්‍රියාකාරීත්වය නැවත යථා තත්වයට පත් කිරීමට අසමත් වීම සහ ආණ්ඩුවක් වශයෙන් රටෙහි ජනතාව වෙත තමන් විසින් ඉටුකළ යුතු වගකීම් සහ වගවීම් පැහැර හැරීම.
- 6. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව වැළැක්වීමට අසමත් වූ නිසා මෙන්ම ඉන් පසුව ද රටේ ආරක්ෂක තත්වය සහ සිවිල් ජනජීවිතය යථා තත්වයට පත් නොකිරීම නිසා ඇති වී තිබෙන ආරාජික තත්වය මත රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට විදේශ රාජ්‍යයන්ට ඉඩකඩ හරිමින් ක්‍රියාකර තිබීම.
ඉහත සඳහන් කාරනා හේතුකොට ගෙන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විශ්වාස භංගත්වයට පත්ව ඇති බව මෙම ලියවිල්ලෙන් යෝජනා කර තිබේ.
මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබනු ලැබ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක, විජිත හේරත්, නිහාල් ගලප්පත්ති, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක සහ නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් විසිනි.