ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පෝස්ටර් නැති, ඉටි කොළ නැති මහා මැතිවරණයක්
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල - නවදිල්ලි
ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සමීපම අසල්වැසියාය. අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඉන්දියාව බෙහෙවින් බලපෑවේය.
ඓතිහාසික පුරාවෘත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට, ආර්ථිකයට, දේශපාලනයට පමණක් නොව ආගමික තන්ත්‍රයට ද සෘජු බලපැමක් එල්ල කළ බව නොරහසකි.
සති ගණනාවක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵලය බ්‍රහස්පතින්දා (මැයි 23) ප්‍රකාශයට පත්වීමට නියමිතය.
නවදිල්ලියේ ඡන්ද ක්‍රියාවලිය
නවදිල්ලි අගනුවර යනු එරට සියලු ජාතීන්ට අයත් ජන කොටස් එක්ව වෙසෙන ජනාකීර්ණ නගරයකි. එහි හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ සියලු දෙනා ගැටුම්වලින් තොරව වාසය කරති.
නවදිල්ලි නගරයේ බොහෝ ස්ථානවල සංචාරය කළ මට කිසිදු තාප්පයක් මත කිසිදු පෝස්ටරයක් හෝ දැන්වීමක් දැක ගත හැකි වූයේ නැත.
එහි කිසිදු මාර්ගයක තීන්තවලින් කිසිදු ඡන්ද සලකුණක් හෝ අපේක්ෂකයෙකුගේ නමක් ලියා තිබුණේ නැත.
බස් රථවල, පාලම් මත පෝස්ටර් දක්නට නොලැබිණි. ඉටි කොළ, ප්ලාස්ටික් කිසිසේත් භාවිත නොවීය.
ඊට අමතරව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ කෙටි පෙරහරක් පමණක් එම කාලය තුළ දුටුවෙමි.
කිසි ම ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් නවදිල්ලිය තුළ ආරංචි නොවිණි.
දිල්ලි දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද විමසීම පසුගිය 12 වන දා පැවති අතර ඡන්ද විමසීම පැවති දිනයේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් පසු කර ගිය මාහට ඡන්ද විමසීමක් සිදු වන බව දැන ගත හැකි වූයේ, ඡන්දදායකයින් මධ්‍යස්ථාන දොරටුව කරා යන අාකාරයත්, ඉන් පිට වන ආකාරයත් දැකීමෙන් පමණි.
ඉන්දියාවේ ඇතැම් දිස්ත්‍රික්කවල ස්ථාන රැසක ගැටුම්කාරී සිද්ධි වාර්තා වුව ද, දිල්ලි දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම අගය කළ යුතු මට්ටමක පැවතුණු බව මාගේ විශ්වාසයයි.
ඉන්දීය මහ මැතිවරණය
මීළඟ වසර 5 සඳහා ඉන්දියාව පාලනය කරන අග්‍රාමාත්‍යවරයා සහ පාලක පක්ෂය කවුරුන් ද යන්න තීරණය කෙරෙන මෙම මහ මැතිවරණය 17 වන ලෝක් සභා මැතිවරණය ලෙස සැලකේ.
මැරතන් ක්‍රමයට පැවැත්වෙන මහ මැතිවරණයක් ලෙස සැලකෙන මෙහි ඡන්ද විමසීම අප්‍රේල් 11 වන දා සිට මැයි මස 19 වන දා තෙක් පැවැත්විණි. එම කාලය තුළ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙන වෙන ම ඡන්ද විමසීම පැවැත්වෙනුයේ, ඉන්දියාව විශාල රටක් මෙන් ම විශාල ජනගහනයක් වෙසෙන රටක් වන හෙයිනි.
මෙවර මහ මැතිවරණය සඳහා මිලියන 900කට අධික ඉන්දියානුවන් පිරිසක් ඡන්ද දායකයින් ලෙස ලියාපදිංචි වී සිටි අතර ඔවුහු ලෝක් සභාවේ ආසන 543ක් වෙනුවෙන් සිය නියෝජිතයින් පත් කර ගැනීම සඳහා ඡන්දය භාවිත කළහ.
පාලන බලය හිමි කර ගැනීම සඳහා එක් පක්ෂයක් ආසන 272ක් හිමි කර ගත යුතුය.
එහි ප්‍රතිඵල මැයි 23 වන දා නිකුත් කිරීමට නියමිතය.
ජනතා අදහස්
ඉන්දීය මහ මැතිවරණය ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනෙන්නේ කෙසේ ද?
ඉන්දීය ගුවන් විදුලි සේවයක සිංහල අංශයේ සේවය කරන සකී ආරියවංශ බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින්: "මම දැකපු විදියට ඉන්දියාවේ ඡන්දය කියන්නේ ගොඩක් මිනිස්සුන්ට තවත් නිවාඩු දවසක් විතරයි. ඒ ගොල්ලෝ ශ්‍රී ලංකාවේ වගේ ඡන්දය වෙනුවෙන් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ," යනුවෙන් විස්තර කළාය.
"සමහර වැඩිහිටි අයට යම් දේශපාලනික මතයක් තියෙනවා. ඒත් අලුත් පරම්පරාවේ ගොඩක් තරුණ තරුණියන්ට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. මම දන්න විදියට ගොඩක් තරුණ අය ඡන්දය දාන්න ගියෙත් නැහැ," සකී ආරියවංශ පැවසීය.
මීට වසර 35කට පමණ පෙර ඉන්දියාවේ පදිංචියට පැමිණි රොෂාන් විජේසේකර, මේ වන විට ඉන්දියාවේ පමණක් නොව රටවල් කිහිපයක සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකි.
"මම දැන් අවුරුදු 35ක ඉඳන් ඉන්දියාවේ ඉන්නේ. උසස් පෙළ විභාගය කළෙත් ඉන්දියාවේ. මම හිටිය කාලය තුළ මම අත්දැකපු දේ තමයි, නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුව යටතේ රටේ තිබුණ වංචා දූෂණ නැවතුණා. දැන් රජයේ කිසි ම දෙයක් සඳහා අල්ලස් දීමක් සිදු වන්නේ නැහැ," ඔහු පැවසීය.
"ඒ වගේ ම ඔහු බුදුදහමටත් තැනක් දීලා තියෙනවා. ඒ නිසා මට දැනෙන විදිහට මෝදි දිනුවොත් ඉන්දියාවට හොඳයි. ඒ විතරක් නෙවෙයි එයා ඉන්දියාවේ ජීවත් වෙන ලාංකිකයෝ ගැනත් හොයලා බලනවා. ඒ අතින් ශ්‍රී ලංකාවටත් හොඳක් වෙයි," රොෂාන් විජේසේකර සඳහන් කළේය.
පවතින වාතාවරණය අනුව ඉන්දීය මහ මැතිවරණය පිළිබඳව අදහස් දැක්වීමට හැකියාවක් නොමැති බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාවක සඳහන් කළාය.
නවදිල්ලි නගරයේ ස්ථාන කිහිපයකදී හමුවූ පුද්ගලයින් කිහිප දෙනෙකු අප සමග පළ කළ අදහස් පහත දැක්වේ.
- "දෙගොල්ලො ම කරන්නේ බොරු. රටේ ආර්ථිකය කඩා වැටිලා" - වෙළෙඳසල් හිමියෙක්
- "මේ ආණ්ඩුවෙන් රටේ ආර්ථිකය හොඳට ම කඩා වැටුණා. මේ පාර වෙනසක් වෙයි කියලා බලාගෙන ඉන්නවා" - ජංගම දුරකතන අලෙවිසලක හිමිකරුවෙක්
- "මේ ආණ්ඩුව හොඳයි. පාකිස්තානය එක්ක ප්‍රශ්නෙ වෙලාවේ මෝදි හරියට ක්‍රියා කළා" - ත්‍රිරෝද රථ රියැදුරෙක්
- "කොයි ආණ්ඩුව ආවත් අපි හැම දා ම දුක් විඳිනවා. අපි වෙළෙඳාමක් කර ගත්තේ නැත්නම් අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. හැම දා ම අපේ තත්ත්වෙ ඒකයි" - පදික වෙළෙන්දෙක්
"ඉටු කළ නොහැකි පොරොන්දු"
ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද ප්‍රධාන පක්ෂ දෙකෙහි ප්‍රතිපත්ති ප්‍රකාශනවල විවිධ පොරොන්දු දී තිබේ. ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ, ඇතැම් පොරොන්දු ඉටු කළ නොහැකි ඒවා බවය.
එම ජනප්‍රිය පොරොන්දු කිහිපයක් පහත දැක්වේ.
- අවම ආදායමක් සහතික වීම
මෙම පොරොන්දුව ප්‍රධාන විපක්ෂ නායකවරයා වන ජාතික ඉන්දීය කොන්ග්‍රසයේ නායක රාහුල් ගාන්ධි විසින් දෙන ලද්දකි. ඔහු පොරොන්දු වී ඇත්තේ, පවුල් මිලියන 50ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1030ක වාර්ෂික ආදායමක් ලබා දෙන බවටය.
- ගොවි ණය කපා හැරීම
භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ඉන්දීය කොන්ග්‍රසය යන දෙපාර්ශවය ම එම පොරොන්දුව දී තිබේ. ඉන්දීය ආර්ථික විද්‍යාඥවරියක වන ෂාමිකා රවී බීබීසී පුවත් සේවයට පැවසුවේ, මෙම පොරොන්දුව ප්‍රධාන පක්ෂ දෙක තරඟයට මෙන් ලබා දී ඇති බවය. එහෙත්, මෙය නිශ්චිත වැඩපිළිවෙළක් අනුව ක්‍රියාත්මක නොවනු ඇති බව ඇයගේ අදහසයි.
- යටිතල පහසුකම්
ප්‍රධාන පක්ෂ දෙක ම යටිතල පහසුකම් පිළිබඳව ජනතාවට පොරොන්දු දී තිබේ. නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ, විදුලි බලය, මාර්ග, දුරකතන පහසුකම් ආදී යටිතල පහසුකම් 100%ක් සම්පූර්ණ කරන බවය. එම පොරොන්දු දේශපාලනික වශයෙන් යහපත් වුව ද, ආර්ථික වශයෙන් යහපත් වීමට නම් ඒවා ඉටු කළ යුතු බව ආර්ථික විද්‍යාඥ ෂාමිකා රවී පවසයි.
පූර්ව ප්‍රතිඵල අනාවැකි
ඉන්දීය මහ මැතිවරණය සම්බන්ධයෙන් පළ කර ඇති පූර්ව අනාවැකි අනුව නරේන්ද්‍ර මෝදි යළිත් වරක් අග්‍රාමාත්‍ය ධූරයට පත් වනු ඇතැයි අදහස් පළ වී තිබේ.
කෙසේ වෙතත්, ඉන්දීය කොන්ග්‍රසයට අයත් පාර්ශව එම අනාවැකි ප්‍රතික්ෂේප කර තිබේ.
ජාතික ඉන්දීය කොන්ග්‍රසයේ නායක රාහුල් ගාන්ධි ඉල්ලා ඇත්තේ, ඡන්ද ගණනය කිරීම නිවැරදිව සිදු කරන ලෙසය.
ඡන්ද විමසීමේදී අක්‍රමිකතා සිදුවූ බවටත් නරේන්ද්‍ර මෝදි විවිධ උපක්‍රම සිදු කළ බවටත් ඔහු චෝදනා කරයි.