මුස්ලිම් ජනතාව කෙරෙහි යම් සැකයක් මතුවෙලා - ඇමති නවීන් දිසානායක

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව තවමත් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර, ආරක්ෂක අංශ විසින් එම සෝදිසි මෙහෙයුම් වලදී ගිනි අවි, පුපුරන ද්‍රව්‍ය මෙන්ම කඩු කිනිසි ඇතුළු උල් ආයුධ රැසක් තම භාරයට ගනු ලැබිණ.

විශේෂයෙන් දිවයින පුරා ඇතැම් ඉස්ලාමීය දේවස්ථාන ආශ්‍රිතව සිදුකළ සෝදිසි කිරීම් වලදී හමුවූ උල් ආයුධ සමාජය තුළ ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.

මේ තත්වය මග හැරීමට එම මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයන්හි භාරකාර මණ්ඩල එවැනි අවි ආයුධ පල්ලි තුළට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් නිසි ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ රටේ වර්තමාන ආරක්ෂක තත්වය ගැන බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

"දැන් තියෙන තත්වය ඇත්ත වශයෙන්ම හොඳ නැහැ. මොකද මුස්ලිම් ජනතාව කෙරෙහි යම් සැකයක් මතුවෙලා තියෙනවා. මොකද මේ කඩු කිනිසි පල්ලි වලින් හමුවෙන එක."

"මේ පල්ලි භාරව ඉන්න මණ්ඩල වගකියන්න ඕන - කොහොමද මේ කඩු කිනිසි ලැබුණේ කියලා. මොකද නීතියෙන් ඔවුන් පත්කරලා තියෙන්නේ පල්ලිය පාලනය කරන්න," අමාත්‍යවරයා කියා සිටියේය.

තම තනතුරු භාවිත කරමින් අන්තවාදී කල්ලි සඳහා අනුබල දෙන දේශපාලකයන් සිටීනම් රජය ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ආණ්ඩුවේ සිටින රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එල්ල වෙන චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේය.

"මේකට අපට ජාතියක් අවශ්‍ය නැහැ. සිංහල වේවා කතෝලික වේවා. ඕනෑම දේශපාලකයෙක් ඔවුන්ගේ තනතුර පාවිච්චි කරලා අන්තවාදී කල්ලි වලට අනුබල දෙනවනම් ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුයි".

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලින් පසු ජනතාව සන්සුන්ව ක්‍රියාකළ ආකාරය ගැන විශේෂ ස්තුතියක් පළකල අමාත්‍ය නවීන් දිසානායක, මුස්ලිම් ජනසමාජයෙන් ඉල්ලීමක් කළේ අන්තවාදී පිරිස් ගැන දන්නා තොරතුරු තදුරටත් හෙළිකරන ලෙසය.

"කිසියම් මුස්ලිම් සහෝදරයෙක් අසාමාන්‍ය ලෙස කටයුතු කරනවානම් ඒ තොරතුරු හෙළිකරන්න - නැත්නම් අපට මේක කරන්න බැහැ."

පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට විරුද්ධ නොවන ලෙස අමාත්‍ය නවීන් දිසානායක පසුගියදා අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවකදී පවසන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද මේ අතර මාධ්‍යයට නිකුත් වී තිබුණි.

මේ ගැන විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ, පෞද්ගලික සාකච්ඡාවක සිදුවූ එවැනි කතාබහක් ඇතුළත් වීඩියෝ පටයක් "ලීක්" වීම ගැන තමන් කණගාටුවන බවය.

කෙසේවෙතත් පොලිස්පති පුජිත් ජයසුන්දරගේ ප්‍රතිපත්ති තමන් මින් පෙරද විවේචනය කර ඇති බව පැවසූ ඇමතිවරයා, රටේ රාජ්‍ය නායකයා පදවියෙන් ඉවත් වෙන ලෙස ඉල්ලීමක් කළ විට එසේ නොකිරීම ගැටළු සහගත බව කියා සිටියේය.

රටේ ජාතික ආරක්ෂාව දැන් යථා තත්වයට පත්වෙමින් ඇති බව පැවසූ නවීන් දිසානායක අමාත්‍යවරයා, ඉදිරි මාස කිහිපය ඇතුළත රට තුළ ක්‍රියාත්මක අන්තවාදී කල්ලි සම්පුර්ණයෙන්ම අතුගා දැමීමට රජය කටයුතු කරන බවද අවධාරණය කළේය.

මේ අතර සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. මේ අවස්ථාවට මුස්ලිම් දේශපාලන නියෝජිතයින් මෙන්ම ඉස්ලාම් පූජකවරුද එක්ව සිටියහ.

එහිදී කඩු සහ කිනිසි ඇතුළු ආයුධ මුස්ලිම් ජනතාව අතරින් හමුවීම ගැන අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් සිය ප්‍රතිචාරය දැක්වීය.

"සාමාන්‍ය අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු අතර වෙනස අපි වටහා ගන්න ඕන. ඊට අමතරව සොයාගත් සමහර දේවල් ඕනෑම සමාජයක ආත්මාරක්ෂාව සඳහා තියාගන්න දේවල්," අමාත්‍ය රවුෆ් හකීම් පැවසීය.

"මුළු රටේම සියළු ජන කොටස් සෝදිසි මෙහෙයුමකට ලක් කළොත් මීට වඩා සිය ගුණයක් දේවල් හම්බවෙන්න පුළුවන්. අවාසනාවකට මේ සෝදිසි මෙහෙයුම් සිදුවන්නේ මුස්ලිම් ප්‍රදේශවල නිසා ඇතැම් සොයාගැනීම් නිසා මුස්ලිම් සමාජය ගැන වැරදි විදිහට පෙනෙනවා."

කියවන්න: