ගෝඨාභය රාජපක්ෂට එරෙහි 'ඇමරිකාවේ නඩු' ගැන පරස්පර විරෝධී අදහස්

Gotabhaya Rajapaksa

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේදී පවරා ඇතැයි පැවසෙන සිවිල් නඩු දෙක සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ සෙසු පාර්ශ්ව අතර පරස්පර විරෝධී අදහස් පළ වෙමින් පවතී.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සහ දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක් කිරීම යන චෝදනා යටතේ පවරන ලදැයි පැවසෙන නඩුකරවලට අදාළ නෛතික කැඳවීම් (Notice) ගෝඨාභය රාජපක්ෂ වෙත ඇමරිකාවේදී පෞද්ගලිකව ම භාර දුන් බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සඳුදා (අප්‍රේල් 08) පැවසීය.

නිවාඩුවක් සඳහා කැලිෆෝනියාවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ සිටින ස්ථානය පෞද්ගලික විමර්ශන කණ්ඩායමක සහයෙන් සොයා ගනු ලැබීමෙන් අනතුරුව එය ඔහු වෙත භාර දුන් බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

ඒ සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ "අප දන්නා පරිදි ගෝඨාභය රාජපක්ෂ වෙත කිසිදු ආකාරයක කැඳවීමක් (Summon) ලැබී නොමැති" බවය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

"ක්‍රමෝපායික ප්‍රචාරණය මත පදනම් වූ නිරවද්‍යතාව ඔප්පු නොකළ චෝදනා ප්‍රසිද්ධියට පත් කිරීමට ඇතැම් පුද්ගලයන් යන්නා වූ දුර පිළිබඳ මා තුළ පිළිකුලක් හටගත්තේ ද නැතිනම් හාස්‍යය ජනිත වීද කියා මට විශ්වාස නැහැ" යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂට අදාළ නෛතික කැඳවීම් භාර දුන් අවස්ථාව යැයි හැඟවෙන ඡායාරූපයක් ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් නමැති පෞද්ගලික විමර්ශන කණ්ඩායම විසින් ට්විටර් සමාජ ජාලයට එක් කරනු ලැබ තිබිණි.

ගෝඨාභය

ඡායාරූප මූලාශ්‍රය, Twitter

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් නමැති පෞද්ගලික විමර්ශන කණ්ඩායම පළ කර තිබූ ට්විටර් පණිවුඩය

අදාළ ඡායාරූපයේ නිවැරදිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නොමැති අතර පසුව එම ආයතනය විසින් අදාළ ඡායාරූපය සිය ට්විටර් පිටුවෙන් ඉවත් කර ගනු ලැබ ඇත.

ඇමරිකාවේදී පැවරූ නඩු දෙක මොනවාද?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බව පවසමින් ඔහුගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇතැයි සඳුදා (අප්‍රේල් 09) වාර්තා විය.

ලසන්ත වික්‍රමතුංගගේ පවුලේ සාමාජිකයෙකු ඒ බව බීබීසී සිංහල සේවයට තහවුරු කළේය.

මේ අතර ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) එදින කියා සිටියේ දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම සංවිධානය ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරූ බවය.

ඒ සම්බන්ධයෙන් නෛතික කැඳවීම් ඇමෙරිකාවේදී ගෝඨාභය රාජපක්ෂට ඉරිදා (අප්‍රේල් 07) භාර දුන් බව ද එම සංවිධානය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්විණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කෙසේ නමුත් ඇමරිකාවේදී පවරන ලදැයි පැවසෙන නඩු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

2009 වසරේ ජනවාරි 8 වෙනිදා ලසන්ත වික්‍රමතුංග කොළඹදී ඝාතනය වූ අතර ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.

ඔවුන් දෙදෙනාම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

ගෝඨාභය සහ ලසන්ත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති අපේක්ෂකත්වය

පසුගිය ජනවාරි මාසයේ පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංගගේ දියණියට ආරාධනයක් කර තිබුණි. ඒ සිය පියාගේ ඝාතකයන් ගැන දැනගැනීමට තමන් හමුවන ලෙසය.

"ලසන්තගේ දුවට ඕනේ නම් ඝාතකයන් කව්ද කියලා දැනගන්න ලංකාවට ඇවිත් මාව හමුවෙන්න කියන්න. මම කියන්නම් වුණ දේ. හැබැයි උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න මට සාක්කි නෑ." යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ යැයි අරුණ පුවත්පත වාර්තා කර තිබිණි.

එයට ප්‍රතිචාරයක් දක්වමින් අහිම්සා වික්‍රමතුංග පවසා තිබුණේ සිය පියාගේ ඝාතකයන්ගේ තොරතුරු තමන්ට නොව පොලිසියට ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ යුතු බවය. එම ඝාතකයන්ට රාජතාන්ත්‍රික තනතුරු ලබාදීමට පෙර එය සිදුකළ යුතුව තිබු බව අහිම්සා වික්‍රමතුංග ගෝඨාභය රාජපක්ෂට පිළිතුරු දෙමින් සඳහන් කර තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම් සඳහා සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරමින් සිටින බව මාධ්‍ය පසුගියදා වාර්තා කළේය.

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම

ගෝඨාභය

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/FB

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමෙරිකාවේ සංචාරයක නිරත ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳ සමග

ඇමරිකාවේදී පවරන ලදැයි පැවසෙන සිවිල් නඩුවලින් ගෝඨාභයගේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයට කිසිදු බලපෑමක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායම පවසයි.

"මේක නෛතිකව කිසිදු බලපෑමක් වෙන එකක් නෙවෙයි. එයාට රටින් බැහැර වෙන්නවත් ඇමරිකානු පුරවැසිකම අතහැරීමේ ක්‍රියාදාමයටත් මේකෙන් කිසිම බාධාවක් නැහැ" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඩලස් අලහෙප්පෙරුම මන්ත්‍රීවරයා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"මේක තනිකරම ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගත් අවලාද ව්‍යාපාරයක් සහ දේශපාලන මෙහෙයුමක්"

නඩු පිළිබඳ ගෝඨාභය රාජපක්ෂට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව ඔහු තමන් සමග ප්‍රකාශ කළ බව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

නිවාඩුවක් ගත කිරීම සඳහා එක්සත් ජනපදය බලා ගිය ගෝඨාභය රාජපක්ෂ ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවය වෙත පැවසීය.