කරාටේ ක්‍රීඩාවෙන් බ්‍රිතාන්‍යයේ ජය කෙහෙළි නංවන ශ්‍රී ලාංකික අම්මයි පුතයි

මයෝන්

මවගේ අතේ එල්ලී කරාටේ පන්තියට යන විට ඔහු වයස අවුරුදු හතරක දරුවෙකි.

ඔහු මුලදී මෙම පන්තියට ගියේ කරාටේ පුහුණුව ලැබීමට නොවේ. මව පුහුණුවීම් කරද්දී මේ කුඩා දරුවා පසෙකට වී බලා සිටියේය.

දින කිහිපයකට පසු කිසිවෙකුගේ පෙළඹවීමකින් තොරව, ශාලාවේ මුල්ලකට වී අම්මා අනුකරණය කරන මේ දරුවා කෙරෙහි කාගේත් අවධානය යොමු විය.

කරාටේ පාසලේ ප්‍රධානියා ද මේ දරුවා ගැන විමසිල්ලෙන් සිටියේය.

වයස අවුරුදු 7 ඉක්මවන තුරු කරාටේ පුහුණුව සඳහා බඳවා ගැනීම සඳහා නීත්‍යනුකූල අවසරයක් නොමැති නමුත් මේ දරුවාගේ දක්ෂතා හඳුනා ගත් ප්‍රධාන පුහුණුකරු ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත්තේ මේ කුඩා දරුවාට නිසි පුහුණුවක් ලබා දීම සඳහාය.

දැන් අම්මයි පුතයි දෙදෙනා ම කරාටේ ශූරයෝ වෙති.

නිලුපුලි සහ මයෝන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අම්මයි පුතයි

"මගේ පුතා කළු පටිය ඇන්දේ වයස අවුරුදු හතේදි. ඒ වෙනකොට අපි දැනගෙන හිටිය අපේ 'ශෝටෝකාන්' සමාජයේ වයස අවුරුදු හතේ කිසි ම කෙනෙක් 'බ්ලැක් බෙල්ට්' එක අරගෙන නැහැ කියල. එයා පළමු වෙනි වතාවෙන් ම පරීක්ෂණයෙන් සමත් වුණා." නිලුපුලී සමරසිංහ සිය පුතණුවන්ගේ හපන්කම් පැහැදිලි කළාය.

මේ වන විට අට හැවිරිදි මයෝන් ජයවික්‍රම බීබීසී සිංහල සේවයට කියා සිටියේ තම මව සටන් කලාව පුහුණු වන ආකාරය දැකීම තුළින් ඔහුට ද ඒ පිළිබඳව දැඩි ආශාවක් ඇති වූ බවය.

අනාගතයේදී වෛද්‍යවරයෙකු වීම තම ඉලක්කය වුවත් ඒ අතරතුර කරාටේ උපදේශකයෙකු ලෙස කටයුතු කිරීම තම අභිප්‍රාය බව මයෝන් පවසයි.

පුතණුවන් මවගේ අඩි පාරේ ගියා විය හැක. නමුත් මව සටන් කලාව හදාරන්නට පෙළඹුණේ කුමන හේතුවක් අරභයා ද?

"අපි ගෑනු නිසා අපිට බෑ කියල කිසිම දෙයක් මේ ලෝකේ නැහැ
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපි ගෑනු නිසා අපිට බෑ කියල කිසිම දෙයක් මේ ලෝකේ නැහැ"

ඒ වන විට ඇය දොළොස් හැවිරිදි පාසල් දැරියක වූවාය.

"පොඩි කාලේ ඉඳන් ම මම ක්‍රීඩාවට හරි ම ආසයි. දවසක් ඉස්කෝලෙදි ඇහුව කරාටේ පන්තියක් පටන් ගන්නවා, කවුද කරන්න කැමති කියල. මම තමයි මුලින් ම අත ඉස්සුවේ. අප්පච්චිට ගිහින් කිව්ව ම එයත් කැමති වුණා. 'කරාටේ කිට්' එකකුත් මහල දුන්න. අප්පච්චි තමයි උදව් කළේ," කරාටේ ක්‍රීඩාවට එළැඹුණු ආකාරය නිලුපුලී සිහිපත් කළාය.

එවකට ඇය අකුරු කළේ, මාතලේ සංඝමිත්තා විදුහලේය.

පාසල් අතර පැවති තරගවලින් නොනැවතී තමන් පළාත් සහ සමස්ත ලංකා තරගවලි සඳහා ද සහභාගී වූ බව ඇය ප්‍රකාශ කළාය.

කැපවීමෙන් ලද පුහුණුව නිසා වයස අවුරුදු 16 පමණ වන විට කරාටේ කළු පටිය පැළඳීමට තමන්ට හැකි වූ බවත් අනතුරුව විශේෂ පුහුණුවක් සඳහා ජපානයට යාමට ලැබීම ඉතා වැදගත් අවස්ථාවක් බවත් නිලුපුලී පැවසුවාය.

මවගේ අඩි පාරේ යන මයෝන් (වමේ)
ඡායාරූප ශීර්ෂ වැකිය, මවගේ අඩි පාරේ යන මයෝන් (වමේ)

විවාහයෙන් පසු බ්‍රිතාන්‍යයට පැමිණි ඇය නැවතත් කරාටේ ක්‍රීඩාවට යොමු වූවාය.

බ්‍රිතාන්‍යයේදී පුහුණුවීම් නිම කිරීමෙන් අනතුරුව නැවතත් කළු පටිය පැළඳීම සඳහා පරීක්ෂණයෙන් සමත් වූ බව ඇය ප්‍රකාශ කළාය.

"මගේ ස්වාමි පුරුෂයා සංජය තමයි මාව ධෛර්යමත් කරන්නේ. සෙවනැල්ල වගේ මගේ ළඟ ඉඳන් මටයි පුතාටයි පුදුම සහයෝගයක් දෙන්නේ. සංජයගේ පිහිට නොතිබුනානම් මටවත් පුතාටවත් මේ තත්වයට එන්න කවදාවත් ඉඩ ලැබෙන්නේ නැහැ. එයත් හොඳ පාපන්දු ක්‍රීඩකයෙක්. සංජය වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාව. හැම සම්මානයක් ම ගෞරවයක් ම ඇත්තටම එයාටයි අයිති වෙන්න ඕන." නිලුපුලී තම දක්ෂතා පිළිබඳව කතා කිරීමට පෙර සිය සැමියා සිහිපත් කළාය.

බ්‍රිතාන්‍යයේ පැවති විවෘත ශූරතා තරගාවලි කිහිපයකට ම සහභාගි වී පදක්කම් සහ ශූරතා දිනා ගත් ආකාරය ඇය අපට විස්තර කළේ මෙසේය.

"2006 වසරේ එංගලන්ත විවෘත ශූරතා තරගාවලියට සහභාගී වුණා. ඒකෙන් මම රිදී පදක්කමක් දිනා ගත්තා. 2007 දීත් ඒ තරගාවලියෙන් රිදී පදක්කමක් දිනුවා. 2015දී එංගලන්තයේ කරාටේ ශුරතා තරගාවලියේදී මම ශ්‍රී ලංකාව නියෝජනය කරල රන් පදක්කම් දෙකක් දිනා ගත්ත."

BBC

කෙසේ නමුත් ඇය වැඩි කැමැත්තක් දැක්වූයේ තම පුත්‍රයාගේ හපන්කම් පිළිබඳව කතාබහ කිරීමටය.

"මගේ පුතා මුලින් ම පදක්කමක් දිනා ගන්නකොට එයාට වයස අවුරුදු පහයි. බ්‍රිතාන්‍යයේ උතුරු කලාපීය ශෝටෝකාන් විවෘත තරගාවලියෙ වයස අවුරුදු දහයෙන් පහළ කණ්ඩායමට තමයි එයාට තරග කරන්න සිද්ධ වුණේ. එයා තමයි පොඩි ම එක්කෙනා. ඒත් එයා ලෝකඩ පදක්කම දිනා ගත්තා."

"ගිය අවුරුද්දේ තිබුණු 'Q ග්‍රේඩ්' ජාතික ශුරතා තරගාවලියෙ වයස දහයෙන් පහළ තරග දෙකකින් ම ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ඊට අමතරව හොඳ ම අචාර රීති සහ හොඳ ම ආකල්ප සහිත තරගකරුට හිමි වන ශූරතාවත් ලැබුණේ මගේ පුතාට. පොඩි ළමයෙකුට එය පිරිනැමුණු පළමු අවස්ථාව තමයි ඒ."

BBC

පසුගිය වසරේ ශෝටෝකාන් ජාතික ශුරතා තරගාවලියේදී වයස අවුරුදු දහයෙන් පහළ ශූරයා බවට පත් වීම තම පුතු මයෝන් ජයවික්‍රම පැළඳි ඉහළ ම කිරුළ බව නිලුපුලී පවසන්නීය.

මේ වන විට තමන් කරාටේ උපදේශකවරියක ලෙස කටයුතු කරන බවත් 2017 වසරේදී ඒ සඳහා පැවති පරීක්ෂණයෙන් සමත් වී අවසරය ලබා ගත් බවත් නිලුපුලී පැවසුවාය.

"අපි ගෑනු නිසා අපිට බෑ කියල කිසි ම දෙයක් මේ ලෝකේ නැහැ. උත්සාහ කළොත් ඕනෑ ම දෙයක් කරන්න පුළුවන්. විශේෂයෙන් ම මේ සටන් කලාවක් හදාරන එක කාන්තාවන්ට ඉතා වැදගත් වෙනවා. එහෙම වුණොත් කාන්තා හිංසනයකට ගොදුරු වෙද්දී එයින් මිදෙන්න තමන්ට ශක්තියක් තියෙනවා," නිලුපුලී සමරසිංහ අවධාරණය කරන්නීය.

BBC
BBC