වන සතුන්ගේ "ආදරය" මැද "බැරි වැඩ" කරන ලාංකික කාන්තාවක්

"මේක අමාරු රස්සාවක්. හැමෝම කියන විදිහට ගෑණියෙකුට ලේසියෙන් කරන්න බැරි රස්සාවක්. මිනිස්සුන්ට වඩා තිරිසන් සත්තු මට ආදරෙයි ඒ හින්දා හිතට බයක් නෑ."
මෙසේ පවසන ඇය, ප්‍රියංගනී නිල්මිණි කුමාරි.
ඇය, උඩවලව ජාතික උද්‍යානය තුළ සෆාරි රථයක් පදවන 44 හැවිරිදි කාන්තාවකි.
බොහෝ විට මෙම විශේෂිත රියැදුරු කාර්යයට (Off road) පුරුෂයින් වැඩි නැඹුරුවක් දැක්වීම, හේතු රැසක් මත සිදු වුව ද නිල්මිණීට එම හේතු අදාළ වී නැත.
බර වාහන හැසිරවීම, විසල් වනාන්තරයක් මැද හදිසි ආපදාවකදී සෆාරි රථයක් අලුත්වැඩියා කිරීමේ දැනුම මෙන් ම වන සිව්පාවුන් ගැවසෙන භූමියේ "කරක් ගැසීම" නුහුරු නොවූ බව ඇය බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් මෙන් ම ඒ තුළ ගැවසෙන පක්ෂීන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට සේවය සලසමින් කාන්තාවක ලෙස අභියෝගාත්මක රැකියාවක ඇය නිරතව සිටින්නීය.
කෙතරම් අභියෝග පැමිණිය ද තමා මෙම රැකියාවට මහත් ඇල්මක් දක්වන බව පවසන ප්‍රියංගනී, ගෙවුණු සිව් වසර තුළ තමා දක්ෂ සංචාරක මග පෙන්වන්නියක් බවට පත්වූ බව මෙන් ම ජීප් රථ හැසිරවීම මනා ලෙස ප්‍රගුණ කළ බව පැවසුවාය.
මෙම රැකියාවේ නිරත පුරුෂයන්ගෙන් කිසිදු අභියෝගයක් නොපැමිණෙන බව පවසන ඇය උඩවලව ජාතික උද්‍යානයේ සෆාරි රථ සංගමයේ ද සාමාජිකාවකි.

වන සිව්පාවුන්ට හිරිහැරයක් නොවන ලෙස උඩවලව ජාතික උද්‍යානයේ රළු මාවත් පීරන ප්‍රියංගනී, එක් වර ම දකින සද්දන්තයකු අසල නතර වෙමින් තමන් සමග පැමිණි විදේශීය ජාතිකයින්ට විස්තර සපයන්නීය.
ඇයට උද්‍යානය තුළ පිහිටි සියලු මාර්ග පිළිබඳව දැනීමක් පවතී. ඇය පවසන්නේ, තමා සතු අත්දැකිම් ද උපයෝගී කර ගනිමින් සතුන් වැඩිපුර ම ගැවසෙන ස්ථාන වෙත සංචාරකයින් රැගෙන යන බවය.
සුමට නොවූ දුෂ්කර මාර්ගවල වළ ගොඩැලි මත සීරුවට රථය හසුරුවන ඇය මඩ ගොහොරු පසු කර ඉදිරියට ම ඇදෙමින් සංචාරකයන් පිනවන්නීය.
එලෙස යන එන අතරමග අමතක නොවන සිදුවීම් කිහිපයකට ද ඇය මුහුණ දී තිබේ.
"දවසක් කට්ටියක් එක්ක මම කැළේට අවා. මම ගොඩක් දුර එයාලව එක්කරගෙන ගියා. උඩවලව ප්‍රසිද්ධයි අලි ඇතුන්ට. ඉතිං කොහොමත් අලි දකින එක මේ වගේ ගමනකදී සාමාන්‍ය දෙයක්. එදා හිටපු තනි අලියා තරමක් වෙනස් හැසිරීමක හිටියේ. මටත් මුලින් තේරුණා මෙයා ටිකක් වෙනස් බව. අපි සතා පහු කරන්න ගියා විතරයි එයා ටිකක් සැර වුණා. අපිට යන්න දුන්නේ ම නෑ. එදා හිතට ටිකක් බයක් ආවා. පැය තුනකට පස්සේ අපිට යන්න ලැබුණේ."


වන සතුන් දැක උද්දාමයට පත්වන සංචාරකයින්ට මේ සා අත්දැකීමක් හිමි කර දෙන මෙම කාන්තාව පසුව ඔවුන් නැවත ආරක්ෂිතව උද්‍යාන දොරටුව කරා රැගෙන එන්නීය.
2014 වසරේ සිට තම දෑත් සුක්කානමට හුරු කර ගත් ප්‍රියංගනී, එදා මෙදා තුර අවස්ථා පන්සියයකට ආසන්න සංඛ්‍යාවකදී සංචාරකයින්ට උඩවලව අසිරිය පෙන්වා තිබේ.
'අයියට තිබුණා ජීප් එකක්. කැළේ යන්න පුරුදු වුණේ ඒකෙන්. මට ම කියලා තාම ජීප් එකක් නෑ. මාව හොයාගෙන කට්ටිය ආව ම ජීප් එකක් කුලියට අරගෙන කැළේට යනවා."
සාමාන්‍ය සෆාරි ගමනක් පැය තුනකට පමණ සීමා වුව ද සිය සේවාදායකයින්ගේ උපරිම වින්දනය උදෙසා අමතර කාලයක් ද රැගෙන වන සතුන් පෙන්වීමට තමා හැම විට වෙහෙසෙන බව ප්‍රියංගනී පැවසුවාය.
කියවන්න:

සෆාරි කාන්තාවක සමග උඩවලව ජාතික උද්‍යානයේ සංචාරය කිරීම කාන්තාවන් ලෙස තමන් ද සතුටට පත් වන කරුණක් බව විදේශීය තරුණියෝ පැවසූහ.
"ඇත්තට ම සතුටුයි කාන්තාවක් සෆාරි රථයක් පදවන එක ගැන. අපිව ඇය රැගෙන ගියා අලි පවුලක් බලන්න. ඒ වගේ ම තවත් සතුන් බලන්න. ඒ හැම සතෙක් ගැන ම ඇය අපිට විස්තර කර දුන්නා," ඇය සමග සංචාරයක නිරතව සිටි විදේශික තරුණියක් බීබීසී සිංහල සේවයට පැවසුවාය.
"අපි දැක්කේ පිරිමි අය විතරයි සෆාරි රථ පදවනවා. මේක අපිට අපූරු අත්දැකීමක්."


විදේශික සංචාරකයෙකු අදහස් දක්වමින්, "මට කිසි ම ගැටලුවක් වුණේ නෑ මේ සෆාරි රථය පදවන කාන්තාව සමග සංචාරය කිරීම. ඇත්තට ම ඇය ඉතා දක්ෂයි. අපි ගොඩක් දුර ගියා. ගොඩක් තැන් දැක්කා. මෙය හොඳ දෙයක්. ඇත්තට ම ඔබට ගොඩක් ස්තුතියි," යනුවෙන් කියා සිටියේය.
ප්‍රියංගනීට සෆාරි ගමනකින් ලැබෙන මෙවැනි ප්‍රතිචාරයන්ගෙන් අඩුවක් නොවුව ද තම ජීවිකාව අඛණ්ඩව කරගෙන යාම ඇය හමුවේ පවතින අභියෝගයකි.
"රටේ ලස්සන බලන්න එන කෙනාට වගේ ම රට පෙන්නන කෙනාටත් වාසනාව තියෙන්න ඕන. ගොඩක් රටවල අය ආවා.. මාව අගේ කළා...ඒත් මගේ එක ම සිහිනය මට ම කියලා සෆාරි ජීප් එකක් ගන්න එක. ඒ ජීප් එකෙන් කැළේ යන එක. ඒක තාම ඉටු වුණේ නෑ."
එබැවින් වෙනත් සෆාරි රථ රියැදුරන් මෙන් උඩවලව වනෝද්‍යානය ආසන්නයේ රථයක් ගාල් කර ආදායමක් උපයා ගැනීමට හැකියාවක් නැති බව ඇය පවසයි.


ශ්‍රී ලංකාව සතුව ජාතික උද්‍යාන 22කි. උඩවලව ඒ අතරින් වැඩි ප්‍රසිධියක් උසුලන්නේ ඒ තුළ සැරිසරන අලි සම්පත නිසාවෙනි. ජාතික උද්‍යානය තුළ විවිධ පක්ෂි විශේෂයන් ද දැක බලා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව පවතී.
1972 වසරේදී ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු උඩවලව ජාතික උද්‍යානය හෙක්ටයාර 30,821 වපසරියක පැතිර පවතී. රත්නපුර සහ මොණරාගල දිස්ත්රික්කයන්ට මායිම්ව එය පිහිටා තිබේ.
තවත් ලිපි:








