දින 51 ආර්ථික හානිය ගැන අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව

ඔක්තෝම්බර් 26 දින සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් සියලු කටයුතු එකතැන නතර වූ අතර දින 51ක කාලයක් පුරා නැවතී තිබූ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනැගීමට කාලයක් ගත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

දින 51 දේශපාලන අර්බුයේ ආර්ථික හානිය ගැන අගමැතිවරයා කළ ප්‍රකාශයේ කරුණු 7ක්:

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීමත් සමග ඇතිවූ ශ්‍රී ලංකාවේ දින 51ක ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් රටට ඇතිවූ ආර්ථික පාඩුව ගැන අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශයෙන් කරුණු 7ක් මෙසේය.

1. 2019 වර්ෂය තුළ ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලිය

"2019 වර්ෂය තුළ අපි ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලියඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් පමණ වෙයි කියලා ගණන් බලලා තියෙනවා. ඒ වගේ ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වෙනිදා. අමෙරිකානු ඩොලර් මිලියන 2600 ක්"

2. "ශ්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක්"

"ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. රුපියල තව තවත් අස්ථාවර වුණා. ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් පහලට වැටුණා. විදේශ සංචිත පහළ වැටුණා. මේ කාලය තුළ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් කිසි ම ණයක් හෝ ආධාරයක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට නොහැකි වුණා."

රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි"

3. දින 51කආර්ථික හානිය

- වෙනත් රටවල් වල මුදල් ඒකකයන්වල වටිනාකම වැඩිවෙද්දී මේ දින 51 කාලය තුළ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය 3.8%ක් අවප්‍රමාණයවී තිබීම.

- 2018 ඔක්තෝබර් මස 26 ඉඳලා දෙසැම්බර් මස 16 අතර කාලය තුළ භාන්ඩාගාර සුරැකුම්පත් ඇමරිකානු ඩොලර් මිලියන 312.9ක්, භාණ්ඩාගාර බිල්පත් ඇමරිකානු ඩොලර් මිලියන 29.1ක් සහ භාන්ඩාගාර බැඳුම්කර ඇමරිකානු ඩොලර් මිලියන 29.8ක් රටින් පිටතය යාම.

- ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7991.5 සිට බිලියන 6985.4 දක්වා පහළ ඇමරිකානු ඩොලර් බිලියනයකින් පහළ යාම.

4. දින 51 නිසා ඇතිවී තිබෙන අසීරුව

"වැඩිම ණය ගෙවීමට ඇති කාලයේ ජනතාවට බරක් නොවන ලෙස ඒ ගෙවීම් කරන්නට අප සැලසුම් කර තිබුණා. දින පණස් එකේ වියවුල නොතිබුණා නම් අපේ සංචිත ඩොලර් මිලියන 8000 කට වැඩි වෙනවා. එයින් ඩොලර් මිලියන 5900ක් කොටස් වාරික ලෙස ගෙවීමටයි අප සැලසුම් කර තිබුණේ. නමුත් අද සිදුව තිබෙන්නේ කුමක්ද? පළමු වාරිකය ගෙවන කොට අපේ සංචිත ඩොලර් මිලියන 7900 සිට ඩොලර් මිලියන 6900 ට අඩු කරගෙන තිබෙනවා. මේකයි මේ රටේ ජනතාවට සිදුව තිබෙන්නේ"

මේ ගැනත් කියවන්න

5. රුපියල ස්ථාවර කිරීමට ගෙන ඇති පියවර

- සාර්ක් රටවලට සලසන මූල්‍ය හුවමාරු (Currency Swap) පහසුකම යටතේ ඉන්දීය මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට එකඟත්වය පළ කර තිබේ.

- තවත් එවැනි විශාල මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීම සම්බන්ධව ඉන්දියාව සැලකිල්ල යොමු කර තිබේ.

- චීනයේ පැන්ඩා බැඳුම්කර හා ජපානයේ සාමුරායි බැඳුම්කර යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

- ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් බාගැනීමට බලාපොරොත්තු වේ.

6. "ජනතා හිතවාදී අයවැයක්"

"එහිදී අපට අසීරුතා ඇති වේවි. දුෂ්කරතා මතුවේවි. නමුත් අපි ඒ සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි"

7. විපක්ෂය අගමැතිගේ ප්‍රකාශය ගැන විවාදයක් ඉල්ලයි

"අවුරදු 3 1/2 තිස්සේ ඇති වෙච්ච ආර්ථික කඩාවැටීම මේ කාලේ ඇතිවෙච්ච දෝෂයන් කියලා කියනවා, රට කාලා, විනාශ කරලා, ඩොලරය 200ට යන්න තිබුණු රටක් තිබුණේ, රට කෑවේ කවුද කියල බලන්න අපිට විවාදයක් දෙන්න" බන්දුල ගුණවර්ධන ඉල්ලා සිටියේය.

"මේ අවුරුද්දේ මුල් භාගයේදී ඩොලර් එක ශක්තිමත් වෙන ගමන් අනිත් හැම රටක ම මුදල් අඩුවීමක් තිබුණා, ලංකාවේ රුපියල ඇතුළුව. නොවැම්බරයේ ඒ මුදල් සියල්ල වටිනාකම වැඩි වුණා, ලංකාවේ හැර. ඩොලර් මිලියන 1000ක් සංචිත මේ දවස් 51 නැති වුණා, මේ ඔක්කොම ඇති කරලා දැන් ඉන්නවා, විවාදය තියන්නේ මේ දවස් 51ක් ගැන" අගමැති රනිල් වික්‍රමසිංහ පිළිතුරු දෙමින් කියා සිටියේය.