බුදු පිළිම කැඩූ බවට සැක කරන දෙදෙනෙක් අත්අඩංගුවේ, මාවනැල්ලට විශේෂ ආරක්ෂාවක්

මාවනැල්ලේ පැවති සාකච්ඡාව

ඡායාරූප මූලාශ්‍රය, facebook/kabir hashem

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ස්ථාපිත කොට තිබූ බුදු පිළිමවලට හානි කළ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු පසුගිය දින කිහිපය තුළ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බදාදා (දෙසැම්බර් 26) අලුයම යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු මාවනැල්ල ප්‍රදේශයේ මංසන්ධියක තිබූ බුදු පිළිමයකට හානි කිරීමට උත්සහ දැරූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් ඔවුන් සිය ග්‍රහණයට ගෙන තිබේ.

ඉන් එක් අයෙකු අදාළ ස්ථානයෙන් පළා යෑමට උත්සහ දරා ඇති නමුත්, පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

එම් අශ්ෆර් නැමැති සැකකරුවකුට පහරදුන් ප්‍රදේශවාසීන් පසුව ඔහු පොලීසියට භාර දී තිබේ.

පසුගිය දින කිහිපය තුළ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි සිදු කිරීමේ සිද්ධිවලට ද මෙම තරුණයන් සම්බන්ධ යැයි සැක කරන බව මාවනැල්ල පොලිසියේ නිලධාරියෙක් බීබීසි සිංහල සේවයට පැවසීය.

Buddha's statues damaged in Mawanella

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ වන විට මාවනැල්ල ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර ඇතැම් ස්ථානවලට පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබේ
Buddha's statues damaged in Mawanella

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, " මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා"

සිංහල සහ මුස්ලිම් ජනතාව අතර යම් නොසන්සුන්තාවක් ඇති කිරීමේ අරමුණින් මෙම කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකර ඇතැයි ද ඔහු පැවසීය.

මේ වන විට මාවනැල්ල ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර ඇතැම් ස්ථානවලට පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙන බව මාවනැල්ල ප්‍රාදේශීය වාර්තාකරුවෙක් බීබීසි සිංහල සේවය සමග කියා සිටියේය.

මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව මාවනැල්ල ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණ.

"මාවනැල්ල ප්‍රදේශයේ පූජනීය ස්ථානවලට අගෞරව වන ආකාරයෙන් සිදු වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකිනවා. සියලු අනීතික ක්‍රියා සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වෙමින්, නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් පොලිසියට ලබා දී ඇති අතර, මේ වන විට ඒ සම්බන්ධයෙන් වගකිවයුතු දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා," යැයි අමාත්‍යවරයා පැවසීය.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

කබීර් හෂීම් අමාත්‍යවරයාගේ නිවේදනය

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Kabir Hashim

මාවනැල්ල බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බැවින් එය සමාජය තුළ පුළුල් ජාතිවාදී ගැටුමක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට, මෙම පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෙළ බුදු සවිය සංවිධානයේ ලේකම් බුදුගල ජිනවංශ හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියහ.

මෙම තත්වය ගැන විශේෂ සාකච්ඡාවක් සඳහා බදාදා සවස ප්‍රදේශයේ ආගමික නායකයන්, රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් මාවනැල්ලේදී හමු වූ අතර, ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම පිණිස පිලිසියට සහය දෙන මෙන් ඒ සියලු දෙනාගෙන් ඉල්ලීමක් කළ බව ද අමාත්‍ය කබීර් හෂීම් පවසයි.

ආගමික සිද්ධස්තානවලට පහරදීමේ හැසිරීම "ශ්‍රී ලංකාව තුළ කිසිදු ආකාරයකින් නොඉවසන" බව ද ෆේස්බුක් ඔස්සේ අමාත්‍යවරයා නිකුත් කළ තවත් නිවේදනයක දැක්වේ.

මේ තොරතුරුද කියවන්න: