ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මහින්ද රාජපක්ෂ අභියාචන විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ
තමන් අග්‍රාමාත්‍ය ධූරයේ ක්‍රියා කිරීම වළකමින් අභියාචනාධිකරණය පැනවූ අතුරු නියෝගය බල රහිත කරන මෙන් ඉල්ලා, මහින්ද රාජපක්ෂ මෙන්ම ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධූරවලට පත්කරනු ලැබූවන් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
එහෙත්, අභියාචනාධිකරණයේ අතුරු නියෝගය බල රහිත කරන ලෙස කෙරුණු ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒකමතිකවය.
ජනවාරි මස 16 ,17 සහ 18 යන දින වල විභාගය පවත්වන බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එය අවසන් වනතුරු, අභියාචනාධිකරණය හමුවේ ඇති ප්‍රශ්නගත නඩු විභාගය අත්හිටුවන ලෙස ද නියෝග කළේය.
ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සමන්විත වේ.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පාර්ශවය ඉදිරිපත් කළ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලෙස රනිල් වික්‍රමසිංහ මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රතික්ෂේප කළේය.
එහිදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනගීශ්වරන් කරුණු ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ මෙම අභියාචනා පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සම්බන්ධ ඉතා වැදගත් නඩු කටයුත්තක් බැවින්, එය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සුදුසු බවය.
එම ඉල්ලීමට විරෝධය පළ කරමින්, ජනපතිවරයා විටින් විට පත් කළ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නොවන බව කියා ප්‍රකාශ කර සිටියේය.
මෙම අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වීමට අවශ්‍ය නම් ඊට අදාළ ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත යොමුකරන ලෙස විනිශ්චය මණ්ඩලය පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.
මේ ගැනත් දැනගන්න:
මේ අතර, පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා දී වත්මන් දේශපාලන අර්බුදය අවසන් කිරීමට ජනාධිපතිවරයා ඉක්මනින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.
බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ශුභවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බවය.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව නිශ්චිත තීරණ කිසිවකට දැනට එළඹ නොමැති බව ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර, නම සඳහන් කිරීමට අකමැති වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු පැවසුවේ, අද ( දෙසැම්බර්14) ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ඇමති මණ්ඩලයට අභියාචනාධිකරණය පනවා ඇති තහනම පිළිබඳ නඩුවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා එකඟ වූ බවය.
"අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ආණ්ඩුවක් ලෙස අපි ඉදිරිපත් කරනවා ලබන සතියේ, ලබන වසර සඳහා මුදල් අනුමත කර ගැනීමට, ඒ සඳහා අපි දැනට කටයුතු කරමින් යනවා," වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේය.
මේ අතර, ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර ඊයේ රාත්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් සඳුදා වන විට පත් කරන බව ප්‍රකාශ කළ බව එම හමුවට එක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැවසීය.
"රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට තමාගේ කිසිදු අදහසක් නොමැති," යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හමුවේදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසූ නමුත් රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපතිවරයා පැවසුවේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, "එහෙම කිව්වේ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසි ම කෙනෙක් ඊට එක්වෙන්න එපා කියලා කිව්වේ," යනුවෙනි.
එම හමුවට එක්වූ තවත් මන්ත්‍රීවරයෙකු පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩු කිරීමට සුදානම් නොමැති බව පමණක් එහිදී ප්‍රකාශ වූ බවය. පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය ලබා දීමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ඇඟවීමක් කළ බව ඔහු බීබීසි සිංහල සේවයට පැවසීය.
මේ අතර, අද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවෙන් අනතුරව මහින්ද රාජපක්ෂ පාර්ශවය තම ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගැනීමට නියමිතය.
"අපි ආණ්ඩුවේ වේදිකාවෙන් බැහැල යන්න සුදානම්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් පස්වන වරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා," එම පාර්ශවයේ මන්ත්‍රී උදය ගම්මන්පිල ඊයේ නඩු තීන්දුවෙන් අනතුරුව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු ලෙස ප්‍රකාශ කළේය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව බ්‍රහස්පතින්දා (දෙසැ.13) මාධ්‍ය වෙත අදහස් දැක්වූවන් කළ ප්‍රකාශ පිළිනොගන්නා බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ අත්සන සහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ, පක්ෂ නායකත්වය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරියේදී දැනුවත් කරන බවය.