ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: ඉඩම්, සිරකරුවන් නිදහස් කිරීම හා සහය දීම ගැන කී කරුණාට ටිඑන්ඒ මන්ත්‍රිනියගෙන් පිළිතුරක්

පාර්ලිමේන්තුව තුළ සිය බහුතරය සහතික කර ගැනීම සඳහා ප්‍රධාන පාර්ශ්ව දෙකට දෙමළ සහ මුස්ලිම් ජනතාව නියෝජනය කරන පක්ෂවල සහයෝගය අත්‍යවශ්‍ය සාධකයකි.

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය කේන්ද්‍ර කොටගත් ප්‍රධාන පාර්ශ්ව තමන් වෙත සහයෝගය ලබා ගැනීම සඳහා දෙමළ සහ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පක්ෂ වෙත විවිධ පොරොන්දු ලබා දී ඇති බවට වාර්තා පළ වේ.

පාර්ලිමේන්තුවේ එක් ආසනයක් හිමි ඩග්ලස් දේවානන්දා ප්‍රමුඛ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (ඊපීඩීපී) සහාය මෛත්‍රිපාල - මහින්ද පාර්ශ්වය වෙත ලැබී තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පත් කරනු ලැබීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධී බැවින් ඒ සඳහා සිය සහය හිමි නොවන බව දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී තිබේ.

කියවන්න:

නමුත්, සිය පක්ෂය කුමන හෝ පාර්ශ්වයකට සහය ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවකට පැමිණ නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

"දේශපාලන සිරකරුවන් සහ ඉඩම්"

එසේ තිබියදී දෙමළ ජාතික සන්ධානයේ එස් වියලේන්දිරන්ගේ සහය ජනාධිපතිවරයා වෙත හිමිව තිබෙන අතර නව ආණ්ඩුවේ නැගෙනහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දුන් ඔහු, මාධ්‍ය වෙත පවසා තිබුණේ "දෙසැම්බර් 31 වෙනිදාට පෙර පෙර හමුදාව යටතේ පවතින උතුරු - නැගෙනහිර ඉඩම් සම්පුර්ණයෙන් නිදහස් කර දීමට පොරොන්දු වීම සහ දේශපාලනික සිරකරුවන් පිළිබද දක්වන ධානාත්මක ආකල්පය මත" තමන් එවැනි තීන්දුවක් ගත් බවය.

නමුත්, ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ රැඳවියන් නිදහස් කිරීම සහ උතුරේ පාරම්පරික ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇතැම් සිංහල බෞද්ධ දැඩි මතධාරී කොටස්වල විරෝධය පසුගිය කාලය පුරා එල්ල විය.

විශේෂයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කෘෂිකර්ම ඇමතිවරයාව සිටි අවධියේ ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළ බවට චෝදනා ලද සිවරාජා ජෙනීවන් ජනාධිපති සමාව යටතේ නිදහස් කළත් මාධ්‍යවේදී ඝාතන සහ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් "රණවිරුවන්" අත්අඩංගුවට ගන්නා බවට පැවති මෛත්‍රිපාල -රනිල් ආණ්ඩුවට සිංහල බෞද්ධ දැඩි මතධාරී කොටස් චෝදනා කළහ.

එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල හමුදා යටතේ පැවති පාරම්පරික ඉඩම් නිදහස් කිරීම උතුරු නැගෙනහිර ආරක්ෂාවට තර්ජනයක් බව එවක එවැනි කණ්ඩායම්වල අදහස විය.

මේ ගැනත් කියවන්න:

"හිටපු සටන්කාමීන්"

"දෙමළ ජනතාව වෙත පවතින ගැටලු වෙනුවෙන් විසදුම් ලබා දීමට අපි සුදානම්. දිගු කාලයක් හිටපු සටන්කාමීන් ලෙස සිටින පිරිස සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැතිට කඩිනම් විසදුම් ලබාදීමට හැකි බව දැනුම්දෙමි."

"දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ අනාගත සුභ සිද්ධිය උදෙසා කටයුතු කළ යුතුයි.දෙමළ ජාතික සන්ධානයේ සිටින සමහර තනි පුද්ගලයින් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් සම්පූර්ණ දෙමළ ජනතාවම උකසට තබනවා," යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙමළ භාෂාවෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

දෙමළ ප්‍රජාව ආමන්ත්‍රණය කිරීම සඳහා නිකුත් කළ ඉහත කී ට්විටර් පණිවුඩයේ "ත්‍රස්තවාදීන්" වෙනුවට "හිටපු සටන්කාමීන්" ලෙස දැනට සිර භාරයේ සිටින පිරිස ආමන්ත්‍රණය කිරීම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණක් බවට සමාජ ජාල තුළ අදහස් පළ කරමින් ඇතැමෙක් පවසා තිබිණි.

සිය ප්‍රජාව හමුවේ පවතින ගැටලුව, ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ රැඳවියන් නිදහස් කිරීම සහ උතුරේ ආරක්ෂක අංශ සතු සිය පාරම්පරික ඉඩම් නිදහස් කර ගැනීම පමණක් නොවන බව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා සඳහන් කරයි.

ඇය ඒ බව කියා සිටියේ කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් නිකුත් කළ ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

"අගමැති මහින්ද රාජපක්ෂ දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට පොරොන්දු වී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉඩම් නිදහස් කිරීමට පොරොන්දු වී තිබේ. එසේ තිබියදී දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ වෙත සහාය පළ කරන්නේ ඇයිදැයි දෙමළ ජනතාව ප්‍රශ්න කරයි," යනුවෙන් හිටපු එල්ටීටීඊ නායකයකු වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

"දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හෝ උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම පමණක් නොවෙයි දෙමළ ජනතාවට තිබෙන ගැටලු.දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසදුමක් ලබා ගැනීම තමයි දෙමළ ජනතාවට පවතින ගැටලුව.ඒ නිසා දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසදුමක් ලබනොදි ලබාදෙන පිළිතුරු දෙමළ ජාතික සන්ධානය පිළිගන්නේ නැහැ,"

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම තුළින් ‍බලය බෙදා හැරෙන දේශපාලන විසඳුමකට යා හැකි බව ඇයගේ අදහසය.

"ඒ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සහ මෙරට සිදු වූ බව පැවසෙන යුධ අපරාධ සම්බන්ධයෙන් රජය එක්සත් ජාතීන්ගේ ජිනිවා මානව හිමිකම් කවුන්සලය හරහා පරීක්ෂණ පැවැත්වීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු වෙනුවෙන් විසදුම් ලබාදීම ආදි යෝජනා මෙරට තුළ ක්‍රියාත්මක කළහොත් ඒ තුළින් දෙමළ ජනතා‍වගේ ගැටලුවලට විසදුම් ලැබෙනවා."

"ඒ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වුණොත් දෙමළ ජනතාවගේ අනෙකුත් ගැටලු නිකන්ම විසඳෙනවා. එහෙම නැතුව අවුරුදු 70 ක විතර කාලයක් තිස්සේ සිදුකළ ආකාරයට බොරු පොරොන්දු මත රැවටීම අපි පිළිගන්නේ නැහැ," ඇය බීබීසී සිංහල සේවය සමග පැවසුවාය.

සිය පක්ෂය දෙමළ ජනතාව වෙනුවෙන් කරන යෝජනා විපක්ෂ නායකවරයා හරහා රජයට දන්වා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර, රාවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොංග්‍රසය සහ රිෂාඩ් බද්යුදීන් ඇතුළු සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය තවදුරටත් රනිල් පාර්ශ්වය වෙත සිය සහාය ලබා දෙන බව පවසා තිබේ.

එම පක්ෂ දෙකට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් මේවන විට මක්කම වන්දනාවේ නිරතව සිටිති.

සබැඳි පුවත්: