මන්නාරම සමූහ මිනී වල: කාල නිර්ණය සඳහා මිනිස් අස්ථි කොටස් ෆ්ලොරිඩාවට රැගෙන යාමට අනුමැතිය

BBC

මන්නාරම සමූහ මිනී වලෙන් ඉවත් කළ මනුෂ්‍ය අස්ථි කොටස් සාම්පල කාල නිර්ණය කිරීම සඳහා ෆ්ලොරිඩාවට රැගෙන යන බව අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ පවසයි.

සඳුදා (ඔක්තෝබර් 15) වන විට මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවල තුළ දින 86 ක කාලයක් සිදුකළ කැනීම් මගින් මිනිස් සිරුරු 180 ට අදාළ අස්ථි කොටස් මගින් මතුකරගෙන ඇති බව ද වෛද්‍ය සමින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

"සොයාගත් අස්ථි කොටස් 180 ක් තුළින් මිනිස් සිරුරු 174 කට අදාළ අස්ථි කොටස් ඉන් ඉවත් කළා."

අදාළ අස්ථි ‍තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීම වෙනුවෙන් ෆ්ලොරීඩාවේ කාබන් පරීක්ෂණය කිරීමේ රසායනාගාරයක් වෙත රැගෙනයාමට නියමිත බව ද අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

BBC

"මේ සම්බන්ධ අනුමැතිය සහිත අධිකරණ නියෝගය සිකුරාදා (12) ලැබුණා," හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තමන් පුද්ගලිකවම මැදිහත්වී කටයුතු කරන බවත්, චෝදනා එල්ලවිය හැකි බැවින් අස්ථි කොටස් පරීක්ෂණය සඳහා වෙනත් පාර්ශ්ව සම්බන්ධ කරගැනීමෙන් වැළකීමට තීරණය කළ බව ද අධිකරණ වෛද්‍ය නිළධාරී, විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ බීබීසී සිංහල සේවයට වැඩිදුරටත් පැවසුවේය.

මේ සඳහා අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් ප්‍රතිපාදන ලබාදීමට ඉදිරිපත්වී තිබෙන බවත්, කාබන් නිර්ණය සඳහා තෝරාගත් ආයතනයෙන් මිල ගණන් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

"මෙහිදී මහේස්ත්‍රාත්වරයා, රජයේ රස පරීක්ෂක, පොලිසිය ආදී සියලු පාර්ශ්ව සමග එක්වෙලා ස්තර කීපයකට අයත් අස්ථි කොටස් මේ සඳහා රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා."

BBC

මන්නාරම සමූහ මිනී වල සම්බන්ධ තොරතුරු වාර්තා වූයේ මෙපරිද්දෙනි:

  • 2018 මාර්තු 26 වෙනි දින මන්නාරම පැරණි පැරණි සතොස ගොඩනැගිල්ල කඩාදැමීමෙන් අනතුරුව, එම ස්ථානයෙන් ඉවත් කළ පස් ගොඩක තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් හමුවිය.
  • ඒ සම්බන්ධයෙන් පොලීසිය මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළ අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් 2018 මැයි 28 වෙනි දින ආරම්භ කරනු ලැබීය.
  • 2018 ජුලි 12 දින වනවිට පුද්ගල සිරුරු තිස් නවයකට අයත් අස්ථි කොටස් හමුවී ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ තහවුරු කළේය.
  • 2018 ජුලි 30 කුඩා දරුවෙකුට අයත් යැයි සැළකෙන අස්ථි කොටස් වැඩිහිටියෙකුගේ අස්ථි කොටස් සමග හමුවිය. ඒ සමග මිනිස් සිරුරු 60 කට අදාළ හිස් කබල් කොටස් හා අස්ථි කොටස් පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබූ බව වාර්තා විය.
  • අස්ථි කොටස් ෆ්ලොරිඩාවට රැගෙන ගොස් කාබන් නිර්ණය කිරීමට අවශ්‍ය අවසරය අධිකරණය මගින් ලබාදේ.
  • 2018 ඔක්තෝබර් 15 දින වනවිට සොයාගත් මිනිස් සිරුරු 180 ක අස්ථි කැබලි අතරින් සිරුරු 174 කට අදාළ අස්ථි කොටස් ඉවත් කර‍ ගැනීමට හැකි වූ බව වාර්තා විය.

ඉන්දීය දුත පිරිසක් නිරීක්‍ෂණයට පැමිණේ

තමිල්නාඩු මහජන සංවිධාන නියෝජිතයින් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා මෙම සමූහ මිනිවළ නිරීක්ෂණයට (ඔක්තෝබර් 11) එක්විය.

අධිකරණ වෛද්‍ය නිළධාරී, විශේෂඥ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජාගේ නියෝගය මත අදාළ පිරිස සමූහ මිනී වළ නිරීක්ෂණය වෙනුවෙන් සහභාගි වූ බවය.

තමිල්නාඩු මහජන සංවිධානයේ නියෝජිතයින් හත්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අදාළ නිරීක්ෂණ චාරිකාවට එක් වූ බව ද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

BBC

සමූහ මිනීවළ කැණීම් කටයුතු සම්බන්ධයෙන්, අස්ථි කොටස්වල පිහිටීම සම්බන්ධයෙන් හා අස්ථි කොටස්වල කාල නිර්ණ කටයුතු සම්බන්ධයෙන් අදාළ පිරිස් විමසීම් කළ බව ද අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා පැවසීය.

මේ හා සබැඳි පෙර පුවත්:

BBC

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ සහ රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් අදාළ ස්ථානයේ තවදුරටත් කැණීම් කටයුතු සිදුකරති.

BBC

මීට පෙරද මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත පිවිසෙන මාර්ගයේ ජල නළ පද්ධතියක් එළීම සිදුකළ පිරිසකටද මෙවැනි ස්ථානයක් හමුවු අතර, එහිදී ද මිනිස් සිරුරු 85 කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවිණ.

එහිදී අනාවරණය වූයේ අදාළ ස්ථානයේ පැරණි සුසාන භූමියක් පැවති බවය.

දැනට කැණීම් කෙරෙන මන්නාරම පැරණි පැරණි සතොස ගොඩනැගිල්ල පැවති භූමිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව පවසන්නේ, "හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත කාල නීර්ණයක් සිදුකොට නොමැති" බවය.