දුමින්ද සිල්වාට දුන් මරණ දඬුවම ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව දුමින්ද සිල්වා

2011 වසරේ ඔක්තෝබර් 08 වන දා බස්නාහිර පළාත් සභා ඡන්දය පැවති දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා (ඔක් 11) තහවුරු කළේය.

කෙසේ වුවත් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

සිකුරාදා (ඔක්තෝබර් 12) පදවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටින අග විනිසුරු ප්‍රියසාද් ඩෙප් ගේ ප්‍රධානත්වයෙන් යුත් විනිශ්චය මණ්ඩලය විසින් ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබිණ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

අදාළ මරණ දණ්ඩනය පනවමින් දී තිබූ නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව දෙමින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

2017 වසරේ නොවැම්බර් 27 වෙනි දින එම අභියාචනා පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අතර, එම පෙත්සම් විභාගය 2018 වසරේ මාර්තු මස 29 දින පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ආරම්භ කෙරිණ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම වූයේ, 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදාය.

ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර

එහිදී, බහුතර විනිසුරු මඬුල්ල තීන්දුව දෙමින් කියා සිටියේ, විත්තිකාර දුමින්ද සිල්වා කලක පටන් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සමග අමනාපයකින් පසුවූ බව පැහැදිලි බවය.

මේ හේතුවෙන් මෙම ඝාතනයට දුමින්ද සිල්වා ඇතුළු කණ්ඩායම වගකිය යුතු බවට සාක්ෂි මගින් තහවුරු වී ඇති බව කී බහුතර විනිසුරුවරු ඒ අනුව මරණීය දණ්ඩනය පනවන බව පවසා සිටියහ.

තවත් කියවන්න:

කවුද මේ දුමින්ද සිල්වා?

දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියට අවතීර්ණ වූයේ, එක්සත් ජාතික පක්ෂය හරහාය. 2004 වර්ෂයේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.

එම අවදියේ ඔහුට එරෙහිව ළමා අපචාර චෝදනාවක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය විනය පරීක්ෂණයක් ද පැවැත්විය.

දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂය අතහැර එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වූයේ, 2007 වසරේදීය.

ඒ අතරතුර, ළමා අපචාර සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට එරෙහි නඩුව එවක නීතිපති මොහාන් සිල්වා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය විය.

ඒ සම්බන්ධයෙන්, එවක අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා බීබීසී සංදේශය වැඩසටහන සමග පැවසුවේ, දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි තිබුණේ නම් එවක නීතිපති මොහාන් සිල්වා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගනු ලැබීම "වැරදි" අතර නීතිපතිවරයාට එවැනි බලයක් නොමැති බවය.

ළමා අපචාර සම්බන්ධයෙන් වූ චෝදනාව දුමින්ද සිල්වා තරයේ ප්‍රතික්ෂේප කළේය.

මේ අතර, ජනප්‍රිය නිළියක වූ අනර්කලී ආකර්ෂා සහ ඇයගේ මව ඝාතනය කරන බවට දුමින්ද සිල්වා තර්ජනය කළ බවට චෝදනා කරමින් අනර්කලී ආකර්ෂා 2008 වසරේදී අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළාය.

මීට අමතරව, කොලොන්නාවේ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් ද එවකට ඔහුට එරෙහිව දැඩිව චෝදනා එල්ල විය.

අදාළ චෝදනා දුමින්ද සිල්වා ප්‍රතික්ෂේප කරයි.

මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය පැවති වකවානුවේ මාස කිහිපයක් දුමින්ද සිල්වා සිංගප්පූරුවේ සිට ප්‍රතිකාර ලබන බවට අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රබලයින් කිහිප දෙනෙකු ඔහු බැලීමට සිංගප්පූරුවට ගිය බවට ද මාධ්‍ය වාර්තාවල පළ විය.