කොළඹ මහ නගර සභා "සේවිකාවන්ට ලිංගික හිංසන" වී ඇත්දැයි සෙවීමට කමිටුවක්

කොළඹ මහ නගර සභාවේ සේවිකාවන් එහි ඉහළ නිලධාරීන්ගේ ලිංගික හිංසනයට ලක්වන බවට ඉදිරිපත්වූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර විමර්ශනයක් පැවත්වීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු බීබීසී පුවත් සේවයට පැවසුවේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රීනී ශාර්මිලා ගෝනවල විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇති බව ය.

එම චෝදනා සත්‍යය ද යන්න විමසීම සඳහා ආණ්ඩුකාර කාර්යාලයෙන් ද පරීක්ෂණයක් පවත්වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මෙම පැමිණිල්ල නාගරික මන්ත්‍රීවරුන්ට එරෙහිව ඉදිරිපත් වූවක් නොවන අතර මහ නගර සභාවේ ඉහළ නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළ එකකි.

මේ සම්බන්ධ විමර්ශනයට නීතිඥවරයෙකු, විශ්‍රාමලත් විනිසුරුවරයෙකු, කාන්තා පාර්ශවය නියෝජනය වන පරිදි නිලධාරිනියකගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු යොදා තිබේ.

එම කමිටුව මගින් කෙරෙන ප්‍රශ්න කිරීම් සහ විමර්ශන අනුව මූලික විමර්ශන වාර්තාවක් ලබා ගැනීමට නියමිත ය.

කෙසේ වෙතත්, ලිංගික හිංසනවලට ලක්වූ බවට කොළඹ මහ නගර සභාවේ කිසිදු සේවිකාවකගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

මෙම චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කළ කොළඹ නාගරික මන්ත්‍රී ශාර්මිලා ගෝනවල බීබීසී සිංහල සේවයට පැවසුවේ, කොළඹ නගර සභාවේ සේවය කරන කාන්තාවන් කිහිප දෙනෙකු වරින් වර ඉදිරිපත් කර ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන තමන් ඒ බව ලිඛිතව ආණ්ඩුකාරවරයාට දැනුම් දුන් බව ය.

ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට පොරොන්දු වූ බව ත් ඇය ප්‍රකාශ කළා ය.

"මේ සම්බන්ධයෙන් පැමිණිලි කළේ කිසිදු නිලධාරියෙක් ගැන පෞද්ගලික පළිගැනීමකට නෙවේ. මෙවැනි බලපෑම් ගණනාවක් විවිධ තරාතිරම්වල සේවිකාවන්ට සිද්ධ වෙලා තියෙනවා. ඒ කාන්තාවන්ට සාධාරණයක් ඉෂ්ට කිරීමත් ඉදිරියේදී කාන්තාවන්ට සිදුවන හිංසන වැළැක්වීමත් අරමුණු කරගෙනයි මේ පැමිණිල්ල කළේ"

ඇය පැවසුවේ, ලිංගික හිංසනවලට ලක්වූ බවට විවිධ අවස්ථාවලදී කාන්තාවන් නාගරික කොමසාරිස් කාර්යාලයට සහ කාන්තා කාර්යංශයට කරන ලද පැමිණිලිවල පිටපත් ද තම ලිඛිත පැමිණිල්ල සමග අමුණා භාර දුන් බව ය.

නගරාධිපතිනිගේ ප්‍රතිචාරය

මේ අතර, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වන විට ත් විශේෂ කමිටුවක් පත් කර ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසයි.

ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ටයිටස් පෙරේරාගේ සභාපතිත්වයෙන් යුතු 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කළ බව ය.

ඇය පවසන පරිදි එම කමිටුවට, ජාති ළමාරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි නීතිඥ නටාෂා බාලේන්ද්‍ර, නාගරික ලේකම් සුනිල් ගලගම මෙන් ම පැමිණිල්ල ඉදිරිපත් කළ නාගරික මන්ත්‍රී ශාර්මිලා ගෝනවල ද ඇතුළත් කර තිබේ.

"මේ පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරනවා. එය විධිමත්ව පැවැත්විය යුතු නිසයි කමිටුවට විද්වත් පිරිසක් නම් කළේ" කොළඹ පුරපතිනිය බීබීසී සිංහල සේවයට පැවසුවා ය.

කෙසේ වෙතත්, මෙම චෝදනා තහවුරු වන තුරු නගර සභාවේ නිලධාරීන් පිළිබඳව විවේචනය කිරීම යහපත් නොවන බව ද ඇය පැවසීය. "මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා නිලධාරීන්ට මඩ ගැසීම නම් මම අනුමත කරන්නෙ නැහැ. චෝදනා ඔප්පු වන තුරු ඔවුන්ට විවේචන එල්ල කිරීම ඔවුන්ට කරන අසාධාරණයක්"

කොළඹ නගර සභාවට අනුයුක්ත සේවකයින් සංඛ්‍යාව 9000 ඉක්මවන අතර ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීම පහසු කාර්යයක් නොවන බව ද රෝසි සේනානායක සඳහන් කළා ය.

එහෙයින්, එම සේවකයින්ගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව කමිටුව අවධානය යොමු කර තිබේ.

මේ තොරතුරුද කියවන්න: