ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කල්පිටිය කොරල් පරය: යළි ජීවය දීමට කිමිදෙන සහෝදරියෝ
32 හැවිරිදි නිලුකා දමයන්ති, කල්පිටිය ප්‍රදේශයේ ජිවත්වන තිදරු මවක්. ඇගේ සැමියා සමිත් ප්‍රනාන්දු, කල්පිටිය ප්‍රදේශයේ කිමිදුම් පාසලක් පවත්වාගෙන යන කිමිදුම්කරුවෙකි.
කුඩා කළ සිටම, මුහුදට ප්‍රිය කළත් නිලුකා මුහුදේ රැළි පාගන්නටත් බියවූවාය. නමුත්, ඒ සියල්ල වෙනස්වී දැන් ඇය කල්පිටිය ප්‍රදේශයේ බලපත්‍රලාභී කිමිදුම්කාරියන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කිමිදුම්කාරිය ඇගේ ම සහෝදරිය වන 26 හැවිරිදි මධුෂිකා සුභාෂිණී.
2009 යුද්ධය අවසන් වීමත් සමග කල්පිටිය ප්‍රදේශය සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් සීඝ්‍ර දියුණුවක් ලැබීය. ඒ සමග මුහුදු යාමට එතෙක් තිබු විවිධ බාධා ද ඉවත් කෙරිණි.
එතෙක් තම සැමියාගේ කිමිදුම් රැකියාවට සහය දුන් නිලුකාට, මුහුදූ පතුලේ චමත්කාරය දැකීමේ සිය දිගුකාලින ආසාව ඉටුකරගැනීමට මෙම නිදහස් වටපිටාව විශාල වශයෙන් උපකාරී විය.
"අසාවක් තිබුණට, රැල්ල පාගන්නත් බයක් තිබුණා, මහත්තයා කිව්වා පුරුදු කරන්නම් කියලා, නංගිත් එකතු වුණා, දෙන්නෙක් ඉන්න නිසා බය පොඩ්ඩක් අඩු වුණා"
"මුලින්ම පිහිනුම් තටාකයට දාලා මගේ මහත්තයා පුරුදු කළා, ඊට පස්සේ අපි පුහුණුකරන කෙනෙක් ගාවට ගිහිල්ලත් පුරුදු වුණා" නිලුකා කිමිදීමට පුහුණුවූ ආකාරය බීබීසි සිංහල සේවයට විස්තර කළාය.
"ගමේ කාන්තාවන්ටත් පුළුවන්"
"ගොඩක් ආඩම්බරයි, කල්පිටියේ කවුරුත්ම නැහැ, මමයි අක්කයි විතරයි ඉන්නේ, ගොඩක් අය අහනවා, ඕයගොල්ලන්ට බය නැද්ද කොහොමද මුහුද යට යන්නේ කියලා," එසේ අප සමග අදහස් දැක්වූයේ මධුෂිකා ය.
"ගොඩක් ආසයි, ඒක වෙනම ලෝකයක්. ඒක ඇතුළට බැහැල ම බලන්න ඕන එකේ ලස්සන. බැහැපු කෙනෙක් ආයේ බහින්නේ නැතුව ඉන්නේ නැහැ, කොහොම හරි බහිනවා," යැයි ද ඇය කියා සිටියාය.
"කාන්තාවන්ට මුහුදේ දුර ගිහිල්ලා කරන රස්සාවල සීමාවක් තිබ්බා. ගොඩබිම ළඟින් තමයි කාන්තාවන් ඉස්සෝ වුණත් ඇල්ලුවේ. ඉතින් මේක වෙනස් කරලා කන්තාවන්ටත් දුර මුහුදේ යන්න, පීනන්න, කිමිදෙන්න පුළුවන් කියලා අපි පෙන්නුවා," නිලුකා දමයන්ති කියා සිටියාය.
තමන් මුල් වරට කිමිදීමට දුර මුහුදු යාමේදී නාවික හමුදාවෙන් පවා තම ආරක්ෂාව ගැන සිතා බාධා එල්ලවූ බව ඇය සඳහන් කළාය.
"නේවි එකෙන් විරුද්ධ වුණා යනකොට. කාන්තාවෝ කිමිදෙනවා ඒගොල්ලෝ දැකල ඇති, නමුත් ගමේ කාන්තාවෝ කිමිදෙනවා දැකල නැහැ. මුලදී විරුද්ධ වුණා, අපේ ආරක්ෂාව ගැන හිතලා. ඒත් අපි කතා කරලා කොහොම හරි ගියා, එයාල ගොඩක් පුදුම වුණා, දැන් කිසි ප්‍රශ්නයක් නැහැ," නිලුකා දමයන්ති කිමිදීම ආරම්භයේදී තමන් කාන්තාවක් නිසා මුහුණ දුන් අත්දැකීම් විස්තර කළේ එළෙසිනි.
කොරල් පර රැක ගැනීම
විනෝදාශ්වාදය සඳහා කිම්දීම කළ මේ සොයුරියෝ, විනාශ වෙමින් තිබෙන කල්පිටියේ කොරල් පර රැකගැනීමේ පරිසර සංවිධානවල මෙහෙයුමට 2014 වසරේදී සම්බන්ධ වූහ.
"ලංකාවේ තියෙන ලස්සනම කොරල් රිෆ් එක තමයි කල්පිටියේ බාර් රීෆ් එක, ඉතින් අපිට ලොකු භාග්‍යයක් ඒක රැකගන්න දායක වෙන්න ලැබීම"
"අපි ගිහිල්ල කුණු, දැල්, පොලිතීන් ඉවත්කරනවා, කොරල් ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා, කොරල් අල්ලන්නෙත් නැතුවයි අපි මේ දේ කරන්නේ," කොරල් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ගැන අදහස් දක්වමින් නිලුකා දමයන්ති කියා සිටියාය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව, ශ්‍රී ලංකාව වටා මුහුදේ ඇති කොරල් පර වලින් 80% ක් පමණ මේවන විට විනාශවී තිබේ. ඒ සඳහා අතීතයේ ඉදිකිරීම් සඳහා හුණු ලබාගැනීමට මහා පරිමාණයෙන් කොරල් කැණීම, තහනම් පන්න ක්‍රමවලින් මසුන් මැරීම, සංචාරක කර්මාන්තය සඳහා කොරල් මතින් බෝට්ටු යාත්‍රා කරවීම වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම, සාගරයේ එල්නිනෝ තත්ත්වය, සාගරයේ උෂ්ණත්වය වැඩි වීම වැනි ස්වභාවික කරුණු ද දැඩි ලෙස බලපායි.
එසේ විනාශ වෙන කොරල් පර රැක ගැනීම සඳහා විවිධ ව්‍යපෘති මේවන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ක්‍රියාත්මක කෙරෙන, ශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී භූමි ප්‍රදේශවල ජෛව විවිධත්වය සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම හා පරිසර පද්ධති සේවා නඩත්තුව පිළිබඳ ව්‍යාපෘතියේ එක් කොටසක් ක්‍රියාත්මක වන්නේ කල්පිටියේ ය.
කොරල් පර ආරක්ෂා කර එවා සංවර්ධනය කිරීමේ එම ව්‍යාපෘතියට නිලුකා දමයන්ති, මධුෂිකා සුභාෂිනි මෙන්ම නිලුකාගේ සැමියාව වන සමිත් ප්‍රනාන්දු ද දායකත්වය සපයති.
"අපි ස්ථාන ලකුණු කරලා, එතන බෝයා දාල, එතන ආරක්ෂා කරනවා, එතකොට ඒ හරියේ මාළු අල්ලන්න බැහැ, කාටවත් යන්න බැහැ, එම ස්ථානයේ උෂ්ණත්වය වගේ කරුණු අපි එක්සත් ජාතීන්ගේ වැඩසටහනට වාර්තාකරනවා," නිලුකා දමයන්ති එම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය ගැන අදහස් දක්වමින් කියා සිටියාය.
මෙලෙස ආරක්‍ෂිත යහපත් පරිසර තත්ත්වයක් යටතේ ස්‌වාභාවිකව කොරල්පර නැවැත ලියලන බවට විශ්වාස කරන අතර එසේ නොමැති වුවහොත් මෙම වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස කොරල් පර වැවීමට නියමිත බව ද නිලුකා කියා සිටියාය.
"කල්පිටිය බාධක පරය 95% ක් විනාශ වෙලා තිබ්බේ, දැන් මේ වැඩකටයුතු නිසා ඒක 10% ක් විතර හොඳ තත්ත්වයකට ඇවිල්ල තියෙනවා," සමිත් ප්‍රනාන්දු කතාබහට එක්වෙමින් කියා සිටියේය.
"පසුගිය සතියෙත් අපි ගියා, ගොඩක් සතුටුයි බාධක පරයේ පොඩි ප්‍රදේශයක් යළි ලියලලා තිබ්බා, මුහුදේ උෂ්ණත්වය මේකට ගොඩක් බලපානවා," වසර 20 ට වැඩි කිමිදුම් අත්දැකීම් ඇති සමිත් ප්‍රනාන්දු පැවසීය.
ශ්‍රීලාංකික කාන්තාවන්ට කිමිදුම් අත්දැකීම්
කොරල් පර රැකගැනීමේ කාර්යට අමතරව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට කිමිදුම් අත්දැකීම ලබාදීම සඳහාත් මෙම සොයුරියන් දෙදෙනා දැන් කටයුතු කරමින් සිටිති.
"ලංකාවේ තියෙනවනේ පිරිමි අයත් එක්ක වැඩකරන්න ගැහැණු ළමයි කැමති නැහැනේ, ඒ නිසා අපි කැමතියි ඒ අත්දැකීම දෙන්න, අක්කයි මමයි ඉන්නවා පුරුදු කරන්න," මධුෂිකා කියා සිටියාය.
මේ ආකාරයට දැනට කාන්තාවන් 5 - 6 ක් තමන් සමග කිමිදී තිබෙන බව ඔවුහු පැවසූහ. මීට අමතරව පසුගියදා කල්පිටියේ මුහුදු පතුලේ විවාහ ගිවිසගැනීමේ උත්සවයක්ද මේ සොයුරියන් දෙදෙනාගේ මුලිකත්වයෙන් පවත්වා තිබේ.
"ඒක ගොඩක් ලස්සන අත්දැකීමක්, හරි ලස්සනයි, මනමාලි ගොඩක් බය වෙලා හිටියේ පීනන්නවත් දන්නේ නැහැ , මොකද එයා පළවෙනි පාර මුහුදට බැස්සේ, මමයි අක්කයි තමයි එයාට උදව් කළේ, අපි දෙන්න තමා දෙපැත්තටම මල් තියාගෙන හිටියේ දෙවැනි මනමාලිලා වගේ," මධුෂිකා සිය කතා බහ අවසන් කරමින් පැවසුවාය.
කල්පිටියේ සුන්දර මුහුද හා එහි අලංකාර කොරල් පරය ආරක්ෂා කරන අතරේදී ම, ශ්‍රී ලංකික කාන්තාවන්ට මුහුද පතුලේ සුන්දරත්වය දැක බලාගැනීමට අවස්ථාව සලසා දීම සිය අපේක්ෂාව බව ඔවුහු සඳහන් කළහ.