හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ නිව්යෝක් ටයිම්ස් චෝදනා ගැන රනිල් සහ චීනය

හම්බන්තොට වරාය

ඡායාරූප මූලාශ්‍රය, Chinese Embassy, Colombo

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීනයට ලබාදෙන ලෙස කිසි ලෙසකින් චීනය ශ්‍රී ලංකා රජයට "පීඩාවක්" එල්ල නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව සඳහන් කළේ හම්බන්තොට වරාය චීනයට පැවරීම ගැන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය ගැන පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

2015 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට චීනය මූල්‍යාධාර ලබාදුන් බවට පසුගිය ජුනි 26 වෙනි දින නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ විශේෂ ගවේෂණ වාර්තාවේ චෝදනා කර තිබිණ.

එයට අමතරව එම ලිපියේ සඳහන්වූ බරපතලම චෝදනාවක් වූයේ චීනය ශ්‍රී ලංකාව ණය උගුලක හිරකරගෙන හම්බන්තොට වරාය අත්පත් කරගත් බවය.

බදාදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ඇති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මුදල් ලබාදීමේ චෝදනාව ගැන පරීක්ෂණයක් පවත්වන බව අගමැතිවරයා ප්‍රකාශ කළ නමුත් එහි ඇති අනෙක් ප්‍රධාන චෝදනාව ගැන ඔහු එහිදී කිසිදු අදහසක් පළ නොකළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "චීනය අපිට බලකරානම් මේ වරායත් ගුවන්තොටුපලත් චීනයට දෙන්න තිබ්බා. චීනය එක්කත් ඉන්දියාව එක්කත් අපි ගණුදෙනු කරන්නේ ස්වාධින රාජ්‍ය හැටියට"

කෙසේ නමුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පැවසුවේ කොටස් දෙකකින් සමන්විත නිව්යෝක් ටයිම්ස් ලිපියේ තමන්ට බලපාන කොටස ගැන මෙසේ අදහස් දක්වන බවය.

චීනයෙන් ඩොලර් මිලියන 1320ක මුදලක් ණයට ගෙන මහින්ද රාජපක්ෂ රජය හම්බන්තොට වරාය ඉදිකර තිබුණත් එම වරායට නැව් ගෙන ඒමේ ශක්තියක් ශ්‍රී ලංකා රජයට හෝ ශ්‍රී ලංකා වරාය අධිකාරියට නොතිබූ බව ප්‍රකාශ කළ අගමැතිවරයා එම ණය මුදල ගෙවීමට රජයට කිසිදු ආදායමක් නොතිබූ බව ද සඳහන් කළේය.

"2011 සිට මේ වරායේ පාඩුව රුපියල් බිලියන 47යි. අපට තිබුණේ තෝරාගැනීම් දෙකයි; එකක් මේ ණය ගිවිසුම නීතිවිරෝධී කියල ඉදිරි කටයුතු කරන එක, අනෙක් විකල්පය වූයේ චීන රජය සමග සාකච්ඡා කිරීම," අගමැතිවරයා කියා සිටියේය.

ඒ අනුව චීන රජය සමග සාකච්ඡා කොට වරායේ මෙහෙයුම් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකට පැවරීම තුලින් ණය බරින් නිදහස් වී හම්බන්තොට වරාය ලාභ ලබන නැව් ගෙන්නා ගත හැකි වරායක් බවට පත් කිරීම රජයේ අරමුණ වූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය.

"මෙම ස්ථාවරය සඳහා චීන රජයෙන් කිසිදු පීඩනයක් එල්ල නොවූ බව මම වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා," අගමැතිවරයා අවධාරණය කළේය.

"චීන රජයෙන් කළ ඉල්ලීම වූයේ වරාය මෙහෙයුම් කටයුතු සඳහා පළමුවෙන් චීන සමාගම් වලින් යෝජනා කැඳවන ලෙසයි. ඒ අනුව චින සමාගම් වලින් විවෘත යෝජනා කැඳවනු ලැබුවා. අප වෙත ලැබුණු යෝජනා අතරින් වඩාත්ම වාසි දායක යෝජනාව වූයේ චයිනා මර්චන්ට් පෝට් සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවයි. ඩොලර් මිලියන එක්දහස් අසූවක ආයෝජනයකට ඔවුන් එකඟ වුනා," අගමැතිවරයා චීනය සමග වරයා ගණුදෙනුව සිදුවූ ආකාරය පැහැදිලි කළේය.

චීන තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාව

ඡායාරූප මූලාශ්‍රය, CHINESE EMBASSY, COLOMBO

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මූල්‍යාධාර ලබාදුන් චෝදනාව චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ප්‍රතික්ෂේප කරයි

වරාය විකිණීමක් කිසිසේත්ම මෙමගින් සිදුවී නොමැති බව අවධාරණය කළ අගමැතිවරයා වරායේ මෙහෙයුම් රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමකින් සිදුකිරීම පමණක් මෙමගින් සිදුවන බව පෙන්වාදුන්නේය.

"අහස් යානා එන්නේ නැති" මත්තල ගුවන් තොටුපල ගැන චීන සමාගම් සමග සාකච්ඡා කළත් ඔවුන් ඒ ගැන යහපත් ප්‍රතිචාරයක් ලබානොදුන් බව පැවසූ අගමැතිවරයා, ඒ හේතුවෙන් එම ණය මුදලෙන් නිදහස් වීම ගැන ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

"චීනය අපිට බලකරානම් මේ වරායත් ගුවන්තොටුපලත් චීනයට දෙන්න තිබ්බා. චීනය එක්කත් ඉන්දියාව එක්කත් අපි ගණුදෙනු කරන්නේ ස්වාධින රාජ්‍ය හැටියට," යනුවෙන් පවසමින් අගමැතිවරයා සිය ප්‍රකාශය අවසන් කළේය.

'මහින්දට මුදල් දුන්නේ නෑ'

මේ අතර මෙම ලිපිය සම්බන්ධයෙන් පිළිතුරු දීම සඳහා අද කොළඹ චීන තානාපති කාර්යාලය තෝරාගත් මාධ්‍යවේදීන් පිරිසක් සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී අදහස් දැක්වූ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කළේ චීනය ශ්‍රී ලංකාව ණය උගුලක හිර කර ඇති බවට පළවන වාර්තා බටහිර රටවල මාධ්‍ය ගෙනයන වැරදි මතයක් බවය.

හිටපු ජනපති

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2017 ශ්‍රී ලංකාවේ මහබැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 51.824ක් බව පැවසූ චීන තානාපති කාර්යාල ප්‍රකාශකයා, එයින් චීනයට ගෙවීමට ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5ක් පමණක් බවත් සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය මුදලෙන් චීනයට ගෙවීමට තිබෙන්නේ 10.6% ක් පමණක් බව චීන තානාපති කාර්යාල ප්‍රකාශකයා පෙන්වා දී තිබේ.

එම සාකච්ඡාවට එක්ව සිටි චෝදනාවට ලක්ව සිටින චීන වරාය සමාගම වන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මූල්‍යාධාර ලබාදුන් චෝදනාව ප්‍රතික්ෂේප කරන බව පැවසීය.

මේ සම්බන්ධයෙන් 2015 වසරේ ශ්‍රී ලංකා පොලිසිය පරීක්ෂණයක් පැවැත්වූ බව සමාගමේ නියෝජිතයා එහිදී තහවුරු කර තිබෙන අතර එම පරික්ෂණයට තම සමාගම පූර්ණ සහාය ලබාදුන් බවද පවසා තිබේ. තම නිලධාරීන් 2015 සිදුවූ පරීක්ෂණවලට සහාය දැක්වූ බවත් නිසි සාක්ෂි නොමැති නිසා එම පරීක්ෂණය ඉදිරියට නොගිය බවත් සමාගමේ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණ ව්‍යාපාරය සඳහා චීනයෙන් මුදල් ලබාගත් බවට එල්ලවන චෝදනා පිළිබඳ විමසීම පිණිස බීබීසී සිංහල සේවය බදාදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමතූ අවස්ථාවේ කාර්ය බහුල බැවින් පසුව අමතන මෙන් ඒ දෙදෙනාම ඉල්ලීමක් කළහ.

පැය කිහිපයකට පසුව යළිත් ඇමතූ නමුත් ඔවුන් දෙදෙනාම දුරකතනයට පිළිතුරු නොදුන්හ.

කෙසේ වුවත් මීට ඉහතදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණි.

තවත් කියවන්න: