යාපනය කඩු ප්‍රහාරය: පොලිසිය වෙඩි තැබුවේ "ආත්මාරක්ෂාවට"

BBC

යාපනය, මල්ලාකම් ප්‍රදේශයේ මහමග සිදුවූ ගැටුමක් සමථයකට පත්කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවකින් පහරදීමට තැත්කළ පුද්ගලයෙකුට ආත්මාරක්ෂාව සඳහා කළ වෙඩි තැබීමේදී ඔහු මරණයට පත් වූ බව පොලිසිය පවසයි.

ඉරිදා (17) සිදුවූ අදාල ගැටුම හේතුවෙන් කැපුම් තුවාල සහිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකු ද ඇතුළුව පස්දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසී සිංහල සේවයට පැවසීය.

තෙලිප්පලේ පොලිස් බල ප්‍රදේශයේ ඇති මල්ලාකම් හන්දියේ දෙපිරිසක් තියුණු ආයුධ සහිතව ගැටුමක් ඇතිකරගෙන තිබූ අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පොලිස් නිලධාරීන් අහසට වෙඩි තබා ඇති බවත්, එහිදී පොලීසියට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයෙකුට ආත්මාරක්ෂාව පතා වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට සිදුවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රදේශවාසීන් පවසන පරිදි එහිදී මියගොස් ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්‍යරාසා සුදර්ශන් නමැති 33 හැවිරිදි තරුණයෙකි.

මල්ලාකම් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් කැඳවා ඇති බව ද ප්‍රදේශවාසීහු පැවසූහ.

BBC

කෝවිල් උත්සවය ආරම්භවීමෙන් අනතුරුව යාපනය චුන්නාකම් ප්‍රදේශයේ හා යාපනය මල්ලාකම් ප්‍රදේශයේ තරුණයින් කණ්ඩායම් දෙකක් අතර නොසන්සුන්කාරි තත්වයක් හටගෙන ඇති අතර, අදාළ අවස්ථාවේදී වෙඩි තැබීම සිදුව ඇති බවත් ඔවුහු පවසති.

මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා ඉරිදා දින රාත්‍රියේම සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය ආරම්භ කළ බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට පත්වු තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදුකෙරෙන බවත් කියා සිටියේය.

අදාල සිද්ධියට මුහුණ පෑ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා බීබීසී සිංහල සේවය කළ විමසීමේදී සඳහන් කළේය.

මීට පෙර අවස්ථාවකදී ද යාපනය චුන්නාකම් ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකදී යාපනය විශ්ව විද්‍යල සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, එහිදි යාපනය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරි තත්වයක් හට ගත්තේය.

පසුගිය පුවත්: