ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට එරෙහි විශ්වාසභංගය ඉවත්කරගත්තාද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා පවසයි.
වවුනියාවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා එවැනි අදහසක් පළ කළත්, අගමැතිවරයාට එරහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති, ඇමතිවරුන් පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව තවමත් ඉල්ලා අස්කර ගෙන නැති බව බීබීසී සිංහල සේවයට වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් විසිතුන් දෙනෙකු අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දහසය දෙනෙක් ඊට පක්ෂව ඡන්දය භාවිත කළහ.
අගමැතිවරයාට එරෙහිව සිය ඡන්දය භාවිත කළත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් පරිදි සිය පදවිවලින් ඉල්ලා අස්නොවන බව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් වත්මන් සන්ධාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුලු එම මන්ත්‍රීවරු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් එම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දහසය දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරු ජයසූරිය වෙත භාර දෙනු ලැබ තිබේ.
ඒ අතර ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ, එම යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙස සිය පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
එහෙත් අදාළ යෝජනාව තවමත් ඉල්ලා අස්කර ගෙන නැති බව සිය නම සඳහන් නොකරන මෙන් ඉල්ලා සිටි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
වවුනියාවේ පැවති උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ, සිය පක්ෂයේ කිසිවකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් එයට එරෙහිව "කෙළින් හිට ගන්නා" බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
විශ්වාසභංග යෝජනාවේදී පක්ෂය යළිත් වරක් දෙකඩ වූවා නොවේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ඇමතිවරයා , පක්ෂය දෙකඩ වූයේ මේ අවස්ථාවේදී නොවන බවත් "පොහොට්ටුව නිර්මාණය කරලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක විදියට සිටිමින් පොහොට්ටුව පක්ෂයට ඡන්දෙ දෙන්න කියලා පක්ෂය දෙකඩ කළේ මහින්ද රාජපක්ෂ මහත්මයා" බවත් කියා සිටියේය.
මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය අර්ජුන රණතුංග පවසා තිබුණේ, විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ නම් ජනාධිපතිවරයා පැවසුවත් තමන් තවදුරටත් අමාත්‍ය පදවියේ රැඳී නොසිටින බවය.
මතුව තිබෙන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳුදා (අප්‍රේල් 09) රාත්‍රී රැස්වීමට නියමිතව තිබේ.
තවත් කියවන්න:








