ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'වයිබර්' තහනම මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට
වයිබර් (Viber) කෙටි පණිවුඩ ජාලය වෙත මෙතෙක් තාවකාලිකව සීමා කර තිබූ ප්‍රවේශය අද (මාර්තු 13) මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
විදෙස්ගත ශ්‍රමිකයින්හට සිය ඥාතීන් සමග සන්නිවේදනය කිරීමේදී මුහුණ දීමට සිදුවන අපහසුතාවන් පිළිබඳ සානුකම්පිතව සලකා බැලීමෙන් අනතුරුව රජය එම තීන්දුව ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ව්‍යාපාරික ප්‍රජාව, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්, කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට ද අදාළ වාරණය හේතුවෙන් පසුගිය දින කීපය තුළ සිදුව ඇති අපහසුතාවන් පිළිබඳව ද අවධානය යොමුව ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කරනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම තත්ත්වය පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට රජය කටයුතු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.
"සමාජ මාධ්‍ය වාරණය පැනවීමෙන් අනතුරුව, කලහකාරී හැඟීම් සහ ප්‍රචණ්ඩත්වය වේගයෙන් පැතිර යාම සමනය වූ අතර, රටෙහි ආරක්ෂක තත්ත්වය නැවත යහපත් වෙමින් තිබෙන බව වාර්තා වී ඇත," යනුවෙන් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර ෆේස්බුක් ඇතුළු සෙසු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.
සබැඳි යොමු: