ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකානු සහ ඉන්දීය තානාපතිවරු ජනපති මෛත්‍රී හමුවුනේ ඇයි?
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුවීමෙන් අනතුරුව රටේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා සහ ඉන්දියාවේ මහා කොමසාරිස්වරයා පසුගිය අඟහරුවාදා (පෙබරවාරි 13) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවූහ.
විශේෂයෙන්ම රටේ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳව ඔවුන් දෙදෙනා වෙන වෙනම ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තිබේ.
2015 ජනවාරි 08 වෙනි දින මැතිවරණයෙන් අනතුරුව රටේ දියත් කළ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ ජයග්‍රහණ රැකගැනීම පිණිස ක්‍රියාකරන මෙන් ඔවුන් දෙදෙනාම එහිදී ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බව විශ්වාස කටයුතු මාර්ගවලින් බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.
මැතිවරණ ප්‍රතිඵලයෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් වී පක්ෂයේ වෙනත් නායකයෙකුට අගමැති පදවිය ලබා දිය යුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.
එහෙත් මේ සතිය ඇතුළත කිහිප වතාවක්ම ජනපතිවරයා හමු වූ අගමැතිවරයා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
තවත් කියවන්න:
ජනපති හමු වූ තානාපතිවරුන් දෙදෙනා අගමැති පදවිය පිළිබඳව සිය මතය පළ කළේ දැයි යන්න පැහැදිලි නැත.
මේ අතර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිප මන්ත්‍රීවරු උත්සාහ කරමින් සිටිති.
අගමැති පදවියෙන් ඉවත්විය යුතු නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද අගමැති රනිල් වික්‍රමසිංහ අමතා සඳහන් කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ නමුත් නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා "පට්ට පල් බොරුවක්" ලෙසින් පවසමින් එය ප්‍රතික්ෂේප කළේය.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිකුරාදා උදෑසන මාධ්‍ය ප්‍රධානීන් මුණගැසීමට නියමිතව සිටි නමුත් අවසාන මොහොතේ එම හමුව අවලංගු කරනු ලැබ තිබේ.