ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ, ජාතික සමගි ආණ්ඩුව දිගටම අවශ්‍යයි"
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ජාතික සමගි ආණ්ඩුවේ පැවැත්මට බාධාවක් නොවිය යුතුය යන්න සිය ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එහිදී අගමැති පදවියේ වෙනසක් විය යුතු ද, නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂය කිසිදු ස්ථාවරයක් නොදරන බව ද දෙමළ ජාතික සන්ධානයේ (TNA)පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්ඒ සුමන්දිරන් බීබීසී සිංහල සේවයට පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය දෙන්නේ දැයි කළ විමසීමට පිළිතුරු දුන් ඔහු: "ඒ වගේ ඉල්ලීමක් අපිට තාම කරලත් නෑ. අනිත් එක කාටවත් ආණ්ඩු පිහිටුවන්න අපි සහාය දෙන්නෙත් නෑ. ඒ කියන්නේ අපි කොටස්කරුවෙක් වශයෙන් රජයට එකතු වෙන්නේ නෑ," යනුවෙන් පැවසීය.
"ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයන තෙක් අපි ආණ්ඩුවේ පාර්ශවකරුවන් වෙන්නේ නෑ කියන එක අපේ ස්ථාවරය."
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉවත්වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීම පිණිස සහාය දෙන්නේ නම් දෙමළ ජාතික සන්ධානයට කැබිනට් අමාත්‍ය තනතුරු කිහිපයක් ප්‍රදානය කිරීමට යෝජනා කර ඇති බවට ද සමාජ මාධ්‍යවල අදහස් පළවෙමින් පවතී.
එහෙත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකයා එවැනි සියලු වාර්තා ප්‍රතික්ෂේප කරයි.
"නෑ එහෙම යෝජනාවක් කරලා නෑ. කවුරුත් අපිට ඒ වගේ කතාකරලත් නෑ."
තවත් කියවන්න:
එහෙත් කිසියම් ලෙසකින් ආණ්ඩුවේ කොටස්කරුවෙකු නොවී සහාය දීම පිළිබඳව ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳව පක්ෂය සාකච්ඡා කරනු ඇති බවත් එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වුවත්, "කවුරුත් ආණ්ඩු පිහිටුවන්නට අපේ කණ්ඩායම් එකතු කරලා බහුතර බලය පෙන්නන්නට හෝ පසුව ආණ්ඩුවේ කොටස්කරුවෙක් වශයෙන් එකතු වෙන්නට අපි සහාය දෙන්නේ නෑ," යනුවෙන් යළිත් වරක් පැහැදිලි කළේය.
විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉල්ලා අස් වී, එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකුට අගමැති පදවිය ලබා දිය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරය පිළිබඳව "අපිට කිසිම සම්බන්ධයක් නැති," බව පවසන ඔහු "අපේ ස්ථාවරය මේ ජාතික සමගි ආණ්ඩුව දිගටම යන්න ඕනේ කියන එක," බවත් අවධාරණය කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී සිය පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය අඩු වී ඊපීඩීපී පක්ෂයට සහ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව පිළිගත් සුමන්දිරන් මන්ත්‍රීවරයා, ඒ පිළිබඳ පක්ෂ නායකයන් ළඟදීම රැස් වී සාකච්ඡා කිරීමට නියමිත බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
සබැඳි යොමු: