ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බෙල්ලන්විල නාහිමියෝ අපවත් වෙති
සිය විහාරස්ථානයට අයත් ඇතෙකු පහර දෙනු ලැබීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් සෙනසුරාදා (පෙබරවාරි 03) අපවත් වූහ.
'මියන් කුමාර' නමැති හස්තියාගේ පහර දීමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි එහිමියන් සිකුරාදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබිණි.
බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ඉලඇටවලට බරපතළ හානී සිදු වී තිබු බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එහිමියන් පසුව පෞද්ගලික රෝහලක් වෙත ගෙන යන ලද බවත් ඉහත කී වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආහාර ලබා දෙමින් සිටියදී ඇතා විසින් බෙල්ලන්විල විමලරතන හිමියන් "අල්ලා ගනු ලැබූ බව" ඇත් ගොව්වා මාධ්‍ය වෙත පවසා තිබිණි.
එහිදී එහිමියන් බිම ඇදවැටුණු බව කී ඇත් ගොව්වා "ඊට පස්සේ දළ දෙකෙන් අනින්න ගියා, ඒක වැදුනේ නැහැ," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
'මියන් කුමාර' නමැති හස්තියා මියන්මාරයෙන් තෑගී වශයෙන් ලැබුණු ඇතෙකි.
බෙල්ලන්විල රජමහ විහාරයේ විහාරාධිකාරීව වැඩ විසූ උන්වහන්සේ කෝට්ටේ සංඝ සභාවේ තමන් දැරූ අනුනායක පදවියෙන් පසුගියදා ඉල්ලා අස් වූහ.
එසේම උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ද හෙබවූහ.
බෙල්ලන්විල නාහිමියෝ කලක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආසියා සහ අප්‍රිකානු අංශයේ සිංහල සහ පාලි භාෂා අධ්‍යයන අංශයේ ආචාරවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.
වෙනත් පුවත්: