ඔබේ අපේක්ෂකයා මැතිවරණ නීති කඩනවාද?

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images
මැතිවරණ සමයේ පෝස්ටර්,කටවුට්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීමේදී බල පැවැත්වෙන නෛතික විධිවිධාන ඇතත් ඒවා බෙහෙවින් නොසලකා හරින තත්වයක් ප්‍රායෝගික මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ දක්නට ලැබෙයි.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව මැතිවරණ සමයේ දී ඡන්ද අපේක්ෂකයන්ගේ ප්‍රචාරක පෝස්ටර්, කටවුට්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් දැඩි තහංචි බල පැවැත්වෙයි.
එම මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සවි කෙරෙන පෝස්ටර් බැනර් ආදිය ඉවත් කිරීමට එක් පොලිස් මූලස්ථානයකට අඩු තරමින් කම්කරුවන් දෙදෙනෙකුවත් අනුයුක්ත කර ගැනීමට සිදුවෙන අතර, ඒ සදහා රජයේ මුදල්, මිනිස් ශ්‍රමය සහ කාලය විශාල වශයෙන් වැය වෙයි.
ඒ සඳහා වැය කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෝස්ටර් ඇලවීමෙන් පරිසරයට බරපතළ හානි සිදුවෙයි.
එසේම එම අනවසර පෝස්ටර් ඉවත් කිරීමට වැය වන මහජන බදු මුදල්වලට අමතරව පෞද්ගලික දේපළ මත පෝස්ටර් ඇලවීමෙන් මහජනතාව විශාල අපහසුතාවයට පත් වෙති.
මැතිවරණ නීති ඇතුළත් පනත් කීපයක පෝස්ටර්, බැනර් ආදිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් බල පැවැත්වෙන නෛතික විධිවිධාන ඇතුළත් වෙයි.
•1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත සහ එයට සංශෝධන ඇතුළත් කරමින් සම්මත කර ගනු ලැබූ 2004 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත
•1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි 74 වැනි වගන්තියට අනුව නාම යෝජනා භාර දුන් දින සිට මැතිවරණය අවසන් වන දින දක්වා ඡන්ද අපේක්ෂකයන්ට පෝස්ටරයක්, බැනර්, කටවුට්, චිත්‍රයක්, ඡායාරූපයක්, ලකුණක්, කොඩියක්, අත් පත්‍රිකාවක් හෝ දැන්වීමක් පොදු මාර්ගයක ප්‍රචාරය කළ නොහැකිය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එසේම එවැනි කිසිවක් පොදු හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක ප්‍රදර්ශනය කිරීම සිදු කළ නොහැකි බවත් මැතිවරණ නීතියේ දැක්වෙයි.
එහෙත් මැතිවරණ නීතිය අනුව යම් අපේක්ෂකයෙකුට ඔහුගේ පෞද්ගලික වාහනයේ ප්‍රචාරක පත්‍රිකාවක් ප්‍රදර්ශනය කිරීමේ අයිතිය ඇත. මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක් පැවැත්වෙන පොදු හෝ පෞද්ගලික ගොඩනැගිල්ලක එම රැස්වීම් දිනයේ පමණක් පෝස්ටර් හෝ බැනර් ප්‍රදර්ශනය කිරීමට අවසර දී ඇත.
"අපේ රටේ පවතින මැතිවරණ නීතියට අනුව ඡන්ද අපේක්ෂකයෙකුට තමන්ගේ ලාංඡනය සහ අංක යොදා පෝස්ටරයක් සෑදීමට කිසිම අයිතියක් නැහැ. හැබැයි ඡන්ද රැස්වීමක් පැවැත්වීම ගැන පෝස්ටරයක් සෑදීමට අයිතියක් තියෙනවා. ඒ අනුව සමහර අපේක්ෂකයන් ඒ තුලින් අපේක්ෂකයා හුවා දැක්වීමට උත්සහා කරනවා. එය නිවැරදි නැහැ. නමුත් පැහැදිලිවම නීතියට අනුව නම්, අපේක්ෂකයෙකුට තමන් හුවා දක්වමින් පෝස්ටරයක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැහැ" ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී සඳහන් කළේය.
අපේක්ෂකයකු විසින් ඡන්දය සඳහා ආයාචනය කිරීම, තමන්ට හිමි නොවන ඡන්ද පත්‍රිකාවක් ළඟ තබා ගැනීම, කිසියම් පක්ෂයකට හෝ පුද්ගලයකුට ඡන්දය නොදෙන ලෙස ඉල්ලීම, නාම යෝජනා කාල සීමාවේ දේශපාලන පෙරහැරවල් පැවැත්වීම, පොදු වාහනවල අපේක්‍ෂකයාගේ ඡායාරූපය හෝ මනාප අංකය ප්‍රදර්ශනය කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ද ඉහත කී පනත් මගින් තහනම් කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images
මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලතල පොලිසියට පැවරෙයි.
පෝස්ටරයක් ඇලවීමට සූදානම් වන අවස්ථාවක එය ලඟ තබා ගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මැතිවරණ නීතිය අනුව පොලිසියට බලය ඇත.
එවැනි අවස්ථාවන්හිදී අදාළ ඡන්ද අපේක්ෂකයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් එම ප්‍රශ්නය ඉදිරි නෛතික කටයුතු සදහා අධිකරණයට යොමු කරනු ලැබෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෞද්ගලික ගොඩනැගිල්ලක, නිවසක තාප්පයේ හෝ දොරෙහි මැතිවරණ ප්‍රචාරණ පෝස්ටරයක් අළවා ඇත්නම් පැමිණිලි කළ යුත්තේ කාටද? යන්න පිළිබඳවත් මැතිවරණ නීතිය විස්තර කරයි.
පෞද්ගලික ගොඩනැගිල්ලක, නිවසක තාප්පයක හෝ දොරක ප්‍රචාරක පෝස්ටරයක් අලවා ඇත්නම් එය දුටු සැණින් ඉවත් කිරීමේ පූර්ණ අයිතිය සහ බලය මැතිවරණ නීතිය මගින් ඒවායේ හිමිකරු සතු කෙරෙයි.
එහෙත් ඒවා ඉවත් කරනු ලැබීමට පෙර, එහි දැක්වෙන අපේක්ෂකයා විසින් මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලැබීම සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දිය යුතුව් ඇත.
එසේත් නැත්නම් ඒ පිළිබඳව එම ප්‍රදේශයේ පොලිසියට පැමිණිලි කළ හැකිය. මේ පිළිබදව දැනුවත් කිරීම්, දැනුම් දිය යුතු ස්ථාන, දුරකථන අංක සහ විද්‍යුත් ලිපින මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ 'Tell Commission - Election Commission of Sri Lanka' (කොමිසමට කියන්න ලෙස අරුත් ගැන්වේ) ෆේස්බුක් පිටුවේ ද සඳහන් වෙයි.
පෝස්ටරයක් ඉරා දැමීමට පෙර ගත් එහි ඡායාරූපයක් පැමිණිලිකරුව සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය.
මැතිවරණ නීති ආරක්ෂා වන්නේ පුරවැසියන් කටයුතු කර ආකාරය අනුව බවත් මැතිවරණ කොමිසම පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එබැවින් මැතිවරණ නීතිය කඩ කෙරෙන අවස්ථාවක දී නිහඬව නොසිට අදාළ නීති රැකීමේ බලතල ඇති දෙපාර්තමෙන්තුවට හෝ ආයතනයට ඒ පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසත් කොමිසම ඉල්ලීමක් කර ඇත.
ඉහත කී නීති නිසියාකාරව ක්‍රියාත්මක වීමෙන් නිකරුනේ විනාශ වී යන රටේ ජාතික ධනය රැකෙන අතරම, අනිත් අතින් පාරිසරික ප්‍රශ්න, පෝස්ටර්, කටවුට් වැනි දෑ මුල්කර ගනිමින් ඇතිවෙන දේශපාලන ගැටුම් සහ නිදහස් ශීලාචාර මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව මතුවෙන බලපෑම් අවම කර ගැනීමටත් හැකිය යන්න මැතිවරණ කොමිසමේ අදහසයි.
සබැඳි පුවත් :








