ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට සිතාසි නිකුත් කළේ ඇයි?
දූෂණ චෝදනා නඩුවක විත්තිකරුවන් ලෙස නම් කර තිබෙන හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට මාර්තු 08 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කළේය.
හිටපු අග විනිසුරු මොහාන් පීරිස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්එම්සී ෆර්ඩිනැන්ඩු යන විත්තිකරුවන් වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් සිතාසි නිකුත් කරනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ චෝදනා පත්‍රය සලකා බැලීමෙන් අනතුරුවය.
සීමාසහිත ලංකා විදුලිබල සමාගමට ඉඩම් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිරිපාල ජයලත් සහ රත්නපාල ඩයස් යන කමිටු දෙකක් මගින් පරීක්ෂණ සිදුකළ බව අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍ර මගින් සඳහන් කර තිබේ.
අදාල මිලදී ගැනීම්වලදී අක්‍රමිකතා සිදුව ඇති බවත් ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉහත කී කමිටු මගින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව නිර්දේශ කර තිබූ බව ද අල්ලස් කොමිසම පවසයි.
එසේ තිබියදී 2010 වසරේ දෙසැම්බර් 01 වෙනි දින සහ දෙසැම්බර් 31 වෙනි දින දක්වා කාලසීමාව තුළ එවක නීතිපතිවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් සහ එම වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලෙස කටයුතු කළ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුලින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට ගොනු කළ චෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
අදාළ නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් විසි දෙනෙකු නම් කර ඇත.
වෙනත් පුවත්: