බැඳුම්කර වාර්තාවේ පිටපත් අර්ජුන් ඇලෝසියස් වෙතත් ලැබුණාද?

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභාවේ සහ බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන කොමිසමේ වාර්තා බදාදා (ජනවාරි 17) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙනු ලැබ තිබේ.

බැදුම්කර ගනුදෙනුවට අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් 26 ක් (ඉංග්‍රීසි) සහ එහි සංක්ෂිප්ත වාර්තාවක් ද බරපතල වංචා සහ දූෂණ පිළිබඳ විමර්ශන වාර්තාවෙහි පිටපත් 34ක් (සිංහල) ද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දෙනු ලැබීය.

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිෂමේ වාර්තා සියල්ල නිල වශයෙන් පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත් කිරීම ජනවාරි 23 වෙනි දින සිදු කරන බව කථානායක කරු ජයසූරිය බදාදා පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ ය.

"පාර්ලිමේන්තුව විනිවිද භාවයෙන් කටයුතු කරනවා. බැඳුම්කර විමර්ශන වාර්තා 26 ක් ලැබී තිබෙනවා. ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන්නේ. පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට යොමු කිරීමට ජනාධිපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා," කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් එම වාර්තාව තමන් වෙත ලැබී නැති බව එදින කථානායක කරු ජයසූරිය නිවේදනය කළේය.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අරමුණින් එදිනට කැඳවා තිබූ පාර්ලිමේන්තු සැසිය අතරතුර අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.

ඒ අතරතුර එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු සාමාජිකයන් අතර උණුසුම්කාරී වාතාවරණයක් හට ගැනුණු අතර එය අවසන් වූයේ ගුටිබැට හුවමාරුවකිනි.

එදින කතානායකවරයාට වාර්තාව භාර නොදුන්නේ මන්දැයි බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු කියා සිටියේ, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි එය මුලින්ම මහ බැංකුවේ අධිපතිවරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ලබා දිය යුතු වීම එයට එක් හේතුවක් බවය.

එමෙන්ම කතානායකවරයාගේ ඉල්ලීම පරිදි පැය කිහිපයක් ඇතුළත වාර්තාවේ පිටපත් 26ක් ලබාදීමට හැකියාවක් නොතිබුණු බව ද ජනාධිපති ලේකම්වරයා පැවසීය.

කෙසේ වුවත් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබුණු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉන් දින කිහිපයකට පසුව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

අර්ජුන මහේන්ද්‍රන් සහ ඇලෝසියස්ටත් දුන්නාද?

"අගමැතිතුමාට ලැබුණු විට අපට ලැබෙනවා. අපි දැන් දන්නවා. ඒක නිසා තමයි ආණ්ඩුව මේක එලියට දාන්නේ නැත්තේ. අමූලික බොරුවක් ගහලා තියෙන නිසා දැන් ඒක තමයි එලියට දාන්නේ නැත්තේ," යනුවෙන් මන්ත්‍රී රවී කරුණානායක එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියේ, පාර්ලිමේන්තුව වෙත ලබා දීමට පෙර බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත අදාළ වාර්තාව ලැබීමට සැලැස්වීම වැරදි ක්‍රියාවක් බවය.

"ඒ වාර්තාව උත්තරීතර පාර්ලිමේන්තුව වෙත පළමුව ලැබීමට සැලැස්වීම රජයේ යුතුකම විය යුතුයි. මොකද රවි කරුණානායකට විරුද්ධව ඒ වාර්තාවේ නිර්දේශ කිහිපයක් තිබෙනවා. ජනාධිපතිවරයා රට හමුවේ කළ ප්‍රකාශය අනුව ඒ වාර්තාවේ තිබෙනවා කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමති රවී කරුණානායකට එරෙහිව නඩු දැමිය යුතු බව," මහාචාර්ය ජී.එල් පීරිස් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබන අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් 'වෝල්ට් ඇන්ඩ් රෝ' සමාගම විසින් 'පෙන්ට්හවුස්' තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව වගකීම පැවරෙන හිටපු මුදල් ඇමති රවි කරුණානායකට විරුද්ධව අල්ලස් පනත යටතේ නඩු පැවරිය යුතු බව ද බැඳුම්කර කොමිෂන් වාර්තාව නිර්දේශ කර ඇතැයි ජනාධිපතිවරයා පැවසු බවය.

"ඒ විදිහේ පුද්ගලයෙකුට නෙවෙයි මේ වාර්තාවේ පිටපතක් පළමුව ලබා දිය යුත්තේ," යනුවෙන් කී හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් "අපි විශ්වාස කරනවා රවී කරුණානායක මැතිතුමාට මේ වාර්තාව ලබා දුන්නා නම් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් යන අයටත් ඒ තොරතුරු ආණ්ඩුව ලබා දුන්නාය කියා," යනුවෙන් ද පැවසීය.

"ඒ තුළින් ඒ අයගේ ආරක්ෂාව සඳහා පියවර ගැනීමට අවකාශ සැපයෙනවා," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බැඳුම්කරය සහ එජාපය

"පිටු 1200 ගානක් තියෙන වාර්තාවක නොදැනුවත්ව එක කොටසක් අරගෙන මට චෝදනා කරන එක අසාධාරණයි," යනුවෙන් රවි කරුණානායක මන්ත්‍රීවරයා පසුගිය 08 වෙනිදා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

තමා මාස 9ක් පුරා පදිංචිව සිටියේ අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව රවී කරුණානායක මන්ත්‍රීවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

එම ගනුදෙනුවට තමා කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවූ බවත් තම බිරිඳ සහ දියණිය විසින් මෙම නිවස සොයාගනු ලැබ ඇති බවත් ඒ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර පසුගියදා හම්බන්තොට පැවති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක රැළියක් අමතමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කියා සිටියේ පැහැදිලිවම බැඳුම්කර හොරකමක් සිදු වූ බවය.

"එතකොට ඒ හොරු අල්ලන එක ජනාධිපතිතුමාගේ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිතුමා කොමිසමක් පත්කරලා ඒ හොරු අල්ලන්න මූලික පියවර අරන් තිබෙනවා," යනුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට රුපියල් බිලියන ගණනක අලාභයක් සිදු වූ බැඳුම්කර නිකුතුව සම්බන්ධ ක්‍රියාවලියේදී අගමැති රනිල් වික්‍රමසිංහ වරදක් කර නැතැයි විශේෂ ජනාධිපති කොමිසමේ නිගමනය වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අජිත් පී පෙරේරා පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මන්ත්‍රීවරයා සහ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවට කොමිසම ඉදිරිපත් කර තිබෙන නිර්දේශ සිය පක්ෂය අනුමත කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මහ බැංකුව අධිපතිවරයාට උපදෙස් දෙනු ලැබ තිබේ.

අගමැතිවරයා එසේ උපදෙස් දී තිබෙන්නේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරලීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ජනවාරි 05 වෙනිදා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

සබැඳි යොමු: