දේශීය සංචාරකයන්ට දොර වහන හෝටල්වලට "බලපත්‍ර දෙන්නේ නෑ"

විදේශිකයන්ට පමණක් වෙන් වූ' හෝටල් කාමර

"විදේශිකයන්ට පමණයි" යනුවෙන් දැන්විම් පුවරු සහිතව පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් සම්බන්ධයෙන් වහාම නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර පවසයි.

මේ වනවිට දකුණු පළාතේ පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් රැසක් දේශිය සංචාරකයින්ට දොර වසමින් 'විදේශිකයන්ට පමණක්' පවත්වාගෙන යන බවට පැමිණිලි ලැබි තිබෙන බව ඔහු සඳහන් කරයි.

"මේ පිළිබඳව පළාත් පාලන ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුනා. ඒ අනුව දකුණු පළාතේ එවැනි හෝටල් පරික්ෂාකර බලා හෝටල් හිමියන් දැනුවත් කොට එවැනි දැන්විම් පුවරු වහාම ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස නිලධාරින්ට මම උපදෙස් දුන්නා. එසේ ඉවත් නොකරන්නේ නම් වෙළඳ බලපත්‍රය දෙන්නේ නැහැ. වෙළඳ බලපත්‍රය ලබානොගෙන පවත්වාගෙන යන්නේ නම් අධිකරණයේ නඩු පවරනවා," දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර අනතුරු අඟවයි.

ඊට අමතරව, විදේශිකයින් විසින් පවත්වාගෙන යනු ලබන 'විලා' සම්බන්ධයෙන්ද විමර්ශණය කිරිමට පියවර ගැනීමත් බලධාරීන්ගේ නිගමනය වී ඇත.

"මෙම 'විලා'වලට එන්නේ කවුද? කරන්නේ කුමක්ද? කිසිවෙක් දන්නේ නැහැ. මේවාට පළාත් පාලන ආයතනවලින් වෙළඳ බලපත්‍ර ගන්නේ නැහැ. වාණිජ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වන්නේ නැහැ. එනිසා පළාත් පාලන ආයතනවලට කිසිදු ආදායමක් ලැබෙන්නේ නැහැ."

දේශීය සංචාරකයන්ට දොර වසන්නේ අසෝබන හැසිරීම නිසාද ?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශීය සංචාරකයන්ට දොර වසන්නේ අසෝබන හැසිරීම නිසාද ?
වහාම නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් පවසයි
ඡායාරූප ශීර්ෂ වැකිය, වහාම නිතිය ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් පාලන කොමසාරිස් පවසයි

දකුණු පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර තව දුරටත් මෙසේ සඳහන් කළේය.

"මෙම 'විලා' පවත්වාගෙනයන විදේශිකයන්, අන්තර්ජාලය මගින් විදේශිකයින් සම්බන්ධකරගෙන මෙරටට ගෙන්වා ගන්නවා. ඒ සියලු ආදායම් ව්‍යාපාරය කරන විදේශිකයා තමන්ගේ රටට ගෙනයනවා. එනිසා ඒවා පිළිබඳව සොයා අප බලනවා."

දකුණු පලාත් පාලන කොමසාරිස්වරයාට අනුව අදාළ පරික්ෂා කිරිම් ගාල්ල කොටුව ප්‍රදේශයෙන් ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ. ඒ සඳහා සංචාරක මණ්ඩලය පොලිසිය පළාත් පලාන ආයනතවල ආදායම් නිලධාරින්ගේද සහාය ලබාගනු ඇත.

විදේශිකයන් සඳහා පමණක් පවත්වා ගෙන යන හෝටල්වල බලපත්‍ර අවලංගු කර එවන් ස්ථානවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා පසුගියදා ප්‍රකාශ කළේය.

දකුණේ හෝටල්

එහි ප්‍රතිපලයක් ලෙස, විශේෂයෙන්ම දකුණු පළාතේ උණවටුන, ගාලු කොටුව, මිරිස්ස යන ප්‍රදේශවල සමහර හෝටල් 'විදේශිකයින්ට පමණයි' යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර තිබෙන අයුරු අද (04.01.2018) එම ප්‍රදේශවල සංචාරය කිරිමේ දී දක්නට ලැබුණි.

ගාලු කොටුවේ විදේශිකයන්ට පමණක් කාමර පහසුකම් ලබාදෙන සංචාරක නිවසක් අයිති නම සඳහන් කිරිමට අකමැති පුද්ගලයෙක් බිබිසී සිංහල සේවයට අදහස් දක්වමින්, "බෝයි ෆ්‍රේන්ඩ් කියලා එක්කගෙන එන්නේ බිච් බෝයිස්ලා. ඒ වගේම එන සමහර දේශිය පුද්ගලයින් මෙතන ඇවිල්ලා අසෝබන විදියට හැසිරෙනවා. පසුගිය දවසක එහෙම ආවා -විදේශීය කාන්තාවක් එයාගේ බෝයි ෆ්‍රේන්ඩ් කියලා එක්කෙනෙක් එක්ක . මම එයාට කිව්වා - කාමර දෙන්න බැහැ කියලා. ඊට පස්සේ එයාගේ සමාජජාල ගිණුමක ඒ පිළිබඳව සටහනක් දාල තිබ්බා - එය විවේචනය කරලා" යනුවෙන් පැවසිය.

"මම විදේශිකයන්ට පමණයි කියලා කාමර සේවා පවත්වාගෙන යන්නේ නිවාඩුව සැනසිල්ලෙන් ගත කිරිමට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ඉහළ ගුණාත්මක බවින් සහ හොඳ සේවාවක් ලබාදෙන අරමුණින් '' ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ගලු කොටුවෙන් පිටත සංචාරක බංගලාවක් හිමි පුද්ගලයෙක් අදහස් දක්වමින් 'විදේශිකයන්ට පමණක් යනුවෙන් නවාතැන් ලබාදිමේ ක්‍රියාවලිය' වැලක්විමට ක්‍රියාකිරිම හොඳ ප්‍රවණතාවයක් බව ප්‍රකාශ කළේය.

තමන් ද පසුගිය දිනෙක ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට ගිය අවස්ථාවේ එවැනි අමිහිරි අත්දැකිමට මුහුණ දුන් බවත් ඔහු පැවසිය.

මිට සම්බන්ධ තවත් පුවත්: