තනතුරු අතහැර දූෂණයට වැට බැඳීමට සූදානම් - ජනපති මෛත්‍රී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දූෂණයට සහ වංචාවට එරෙහිව තීන්දු තීරණ ගන්නා විට තමාට චෝදනා එල්ල කරන්නේ නම් "සියලු තනතුරු අතහැර ජනතාව සමග එක්ව එම සටන ඉදිරියටම ගෙන යාමට සූදානම්" බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආණ්ඩුව කළ වැරදි හේතුවෙන් 2015 ජනපතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂකයා පරාජයට පත් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ සිකුරාදා (නොවැම්බර් 24) පෙරවරුවේ නිකවැරටිය ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතා කතාකරමිනි.
පැවති දූෂිත පාලනය වෙනස්කර ජනතාව අලුත් ආණ්ඩුවක් බලයට පත්කර ගත්තේ නිවැරදි වැඩපිළිවෙළක් සඳහා බැවින් එම ජනතා අපේක්ෂාව ඉටුකිරීම වෙනුවෙන් නිවැරදි ගමනක් යාමට සියලුදෙනා සූදානම් විය යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අවධාරණය කළේය.
විශේෂයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට කැඳවනු ලැබීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රසාදයට හේතු නොවූ අතර, ඒ සම්බන්ධයෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර අමාත්‍යවරුන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර සිරිකොත එජාප මූලස්ථානයේදී පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇමතූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කර තිබුණි.
"ඇතැම් පිරිස්වල උවමනාවට" එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා "පංගු කාරයෙක් නොවිය යුතු" යයි රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පවසා තිබුණි.
නිකවැරටිය දේශනයේ දී එජාපයේ මන්ත්‍රීවරුන්ගේ හෝ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගේ විවේචන පිළිබඳව කෙලින්ම සඳහන් නොකළ ජනාධිපතිවරයා "වෙන්වීම පහසුවන අතර, එක්වීම අපහසු බව" සඳහන් කළේය.
එබැවින් "දේශපාලන ළදරුවන් නොවී පරිණත සහ බුද්ධිමත් දේශපාලනඥයින්" ලෙසින් නොබෙදී ඉදිරියට යාමේ අවශ්‍යතාව ද අවධාරණය කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ "කවුරුන් කෙසේ කීවද" සිය වසර 50 ක දේශපාලන ජීවිතය තුළ පිරිසිදු සහ යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා කැප වූ බවය.
සබැඳි යොමු:
පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව එල්ල වන චෝදනාවලට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සිය ප්‍රතිචාරය පළ කළේය.
පළාත් පාලන ආයතන සීමා නිර්ණය කිරීමේ ගැසට් පත්‍රය සඳහා ලබන දෙසැම්බර් 04 වෙනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණය බදාදා (නොවැ 22) පියවර ගත්තේය.
ඒ සමග පළාත් පාලන මැතිවරණ පැවැත්වීම තවත් කල් යාමට ඉඩ ඇති බවට සැක පළ වෙමින් තිබේ.
මේ තත්වය යටතේ පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා වගකිව යුතු බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාර දෙනු ලැබ තිබේ.
ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙයය.
එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ද අවශ්‍යව ඇත්තේ ඉතා ඉක්මණින් මැතිවරණයකට යාමට බව පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ එජාපයට පාර්ලිමේන්තුවේ ආසන 47ක් පමණක් පැවති අවස්ථාවක දී බව පෙන්වා දුන්නේය.











