ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"තීන්දුව ගැන සතුටුයි, ඒත් ලංකාවට ආයෙත් යන්නේ නෑ" - බුදුරුව පච්ච කෙටූ නයෝමි කෝල්මන්
බාහුවේ බුදුරුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම නිසා සිය මානව හිමිකම් උල්ලංඝනය වූ බව පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව සතුටක් දැනෙන නමුත් යළිත් වරක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කෝල්මන් පවසයි.
නයෝමි කෝල්මන් එම ප්‍රකාශය කළේ 2014 වසරේ දී ඇය අත්අඩංගුවට ගෙන, රැඳවුම් භාරයේ දී හිරිහැර කොට, ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවන මෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුවට සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව දුන් තීන්දුව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.
"ඇත්තටම මට හරිම සතුටුයි. දිග කාලයක් මම බලාගෙන හිටිය. නීතිඥවරු ගොඩක් වෙහෙස වුනත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබේවි කියල මට බලාපොරොත්තුවක් තිබුණේ නෑ," නයෝමි කෝල්මන් කියා සිටියාය.
"ඉතින් අද උදේ මේ පණිවුඩ ලැබුනහම මට ඒක නිකම් කම්පනයක් වගේ වුනා. ඇත්තටම මට සතුටුයි."
නෙළුම් මලක වැඩ සිටින බුදු රුවක් අතේ පච්ච කොටා ගෙන සිටින ඇය බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේදී අත් අඩංගුවට ගත් කටුනායක පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, එම පච්චය මහජනතාව කුපිත කිරීමට හේතුවක් විය හැකි බැවින් ඇය අත් අඩංගුවට ගත් බවය.
ඇය අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට හවුල් වූ පොලිස් නිලධාරීන් විසින් එක් නිලධාරියකු රුපියල් පනස් දහස් බැගින් ඇයට වන්දි ගෙවිය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී ජේසී වැලිඅමුණ බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
තමන් කිසිදු අවස්ථාවක බුදු දහමට හෝ ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අවමානයක් නොකළ බව අවධාරණය කරන නයෝමි කෝල්මන්, තමන් තවමත් ඉතා ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකු බවත් බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.
"ඒත් මම හිතන්නේ නැහැ මම ආයෙත් ලංකාවට යාවි කියල. මට ලංකාව ගැන නරක හැඟීමක් නෑ. ඒ සේරම පටන්ගත්තේ එක පුද්ගලයෙක්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් දේ කියල තිබුණ. මගේ නීතිඥයන් වගේම මට උපකාර කරපු අනිත් හැම දෙනාටම ස්තුතියි," ඇය පවසන්නීය.
"හැම තැනම හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවනේ. නමුත් මම ආයෙත් ගියොත් මට කරදර කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්න බව මම දන්නවා."
ඇය ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරනු ලැබීමේ සිද්ධියට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලද අතර, බුදු රුවක් අතේ පච්ච කොටා තිබීම නිසා පුද්ගලයකු රටින් පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලයක් නොමැති බව මානව හිමිකම් නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ මීට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.
ඇය රටින් පිටුවහල් කිරීමේ නියෝගය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ද සඳහන් වේ.
"මම ඊට කලින් දෙවතාවක්ම ලංකාවට ගිහින් තියෙනව. ඒ නිසා මම ඒ රටේ නීතිය ගැන දන්නවා," ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් නයෝමි කෝල්මන් කියා සිටියාය.
"බුදු හාමුදුරුවන්ගේ පච්චයක් තියෙනවා නම් ඒක තියෙන්නේ ඕන ඉණට ඉහලින් කියල මම දන්නවා. මගේ පච්චය තිබුණේ අතේ බාහුවක. මම නිතරම තායිලන්තයට වගේම නේපාලයට යනවා. ඒ කිසිම රටක කිසිම කෙනෙකුට මගේ පච්චය ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ. පච්චය මගේ කකුලේ තිබිල මාව පිටුවහල් කළා නම් ඒකට මම ඒ තීන්දුවට එකඟ වෙනවා."
ශ්‍රී ලංකාවේදී තමන් විඳි අත්දැකීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව දිගින් දිගටම අගය කරමින් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය ජාතික බෞද්ධ කාන්තාව වැඩිදුරටත් කියා සිටියේ තමන්ට සිදු වූ දේ තවත් කිසිවෙකුට සිදු නොවනු දැකීම සිය අභිලාශය බවය.