ලංකා ඊ නිව්ස්: "වාරණය ඉවත් කරන්න"

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උදෙසා කෙරුණු උද්ඝෝෂණයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා ටෙලිකොම් හි අන්තර්ජාල පහසුකම භාවිතා කරමින් 'ලංකා ඊ නිවුස්' වෙබ් අඩවිය පිවිසීමට නොහැකි වන සේ වාරණය කර ඇතැයි පවසමින් එය දැඩි ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, එම වාරණය වහාම ඉවත් කරන මෙන් ආණ්ඩුවට බල කරති.

"මාධ්‍ය නිදහස සපථ කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ මෙවැනි පියවර ජනතාව සහ මාධ්‍ය සමාජය කිසිසේත් බලාපොරො‍ත්තු නොවන්නක්" බව සිය නිවේදනයේ සඳහන් කරන ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, වෙබ් අඩවිය වාරණය කර තිබෙන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ උපදෙස් පරිදි බව විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් හෙළි වී ඇති බවත් කියා සිටියි.

"එම වාරණ නියෝගය නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසම පවතින්නේ,ජනාධිපතිවරයා යටතේ වීමත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පවතින්නේ ජනාධිපතිවරයාගේ ස‍හෝදරයා යටතේ විමත් මෙම හදිසි වාරණයේ සුවිශේෂී කාරණයක්," වන බවත් එම සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

වෙබ් අඩවියට ප‍්‍රවේශ වීමේ හැකියාව තාක්ෂණිකව අවහිර කරමින් එම වෙබ් අඩවියට එරෙහිව බලධාරීන් විසින් "නිල නොවන වාරණයක්" පනවා ඇති බවක් පෙනී යන බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ පිළිබඳව ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් අමතා තොරතුරු විමසීමට උත්සාහ කළ නමුත් ප‍්‍රතිචාරයක් නොලැබුණ බව ද සඳහන් කරයි.

ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර

ඡායාරූප මූලාශ්‍රය, lankaenews

ඡායාරූප ශීර්ෂ වැකිය, ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර

"ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය කියා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ මැදිහත්වීමෙන් 2017-11-08 දින සිට මෙම වාරණය පවත්වාගෙන යන බවයි. කොමිසම එම චෝදනාවට ද කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැත," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන් වේ.

සබැඳි යොමු:

එබැවින් ඒ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම මෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය මතය හෙළි කළ යුතු යයි අවධාරණය කරන ජනමාධ්‍ය නිදහස උදෙසා ක්‍රියාකරන සංවිධාන වැඩිදුරටත් පවසන්නේ, බලධාරීන්ගේ නිහඬතාව මගින් එල්ල වෙමින් පවතින චෝදනාවලට තවදුරටත් පිළිගැනීමක් ලැබී ඇති බවය.

එල්ල වෙමින් පවතින චෝදනාව සත්‍යයක් නම් 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට එරෙහිව පියවර ගෙන ඇති ආකාරය මගින් රජය පෙන්නුම් කර ඇත්තේ වෙනත් ඕනෑම වෙබ් අඩවියකට හෝ මාධ්‍යයකට හෝ එරෙහිවද ඉදිරියේ දී අත්තනෝමතික ලෙස ක‍්‍රියා කිරීමට ඔවුන් තුළ ඇති සූදානම බවත් ඉහත කී ආයතන කියා සිටිති.

මාධ්‍යවේදීන්ට පහරදීම සහ තර්ජනය කිරීම පිළිබඳව වත්මන් ආණ්ඩුව යටතේ ද චෝදනා එල්ල විය
ඡායාරූප ශීර්ෂ වැකිය, මාධ්‍යවේදීන්ට පහරදීම සහ තර්ජනය කිරීම පිළිබඳව වත්මන් ආණ්ඩුව යටතේ ද චෝදනා එල්ල විය

එබැවින් මේ පියවර ඔස්සේ වත්මන් රජය මෙරට ජනමාධ්‍ය නිදහසේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතයට දරුණු අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩිව අවධාරණය කරයි.

එසේම, තෙවසරකට පෙර බලයට පත් වූ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරා ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදීන්ට එරෙහිව විවිධ වාග් ප‍්‍රහාර ඔස්සේ ගෙන ගිය තර්ජනාත්මක මැදිහත්වීම් ප්‍රායෝගික ක්‍රියාකාරීභාවයට පරිවර්තනය කිරීමක් ලෙස ද මෙම ක‍්‍රියාමාර්ගය සැළකිය හැකි බවත් පෙර දැක්වූ නිවේදන මගින් පැවසෙයි.

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී නියෝජ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ, අය වැය විවාදය හේතුවෙන් කාර්ය බහුලව සිටි බැවින් ඒ පිළිබඳව තමන් වැඩිදුර විස්තර නොදන්නා බවය.

එබැවින් පසුව තමන් අමතන මෙන් අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.