ලංකා ඊ නිව්ස් කතෘට වරෙන්තු

ඡායාරූප මූලාශ්‍රය, AFP
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතුවරයාවන සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර ජාත්‍යන්තර පොලිසිය හරහා අද (නොවැ.25) වරෙන්තුවක් නිකුත් කළාය.
එම නියෝගය නිකුත් කෙරුණේ, විනිසුරුවරුන්ට අපහාසවන ආකාරයේ පුවත් පළකිරීම හේතුවෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා ලංකා ඊ නිව්ස් කතුවරයා අත්අඩංගුවට ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර ඇති පසුබිමකය.
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝට පහරදීම පිළිබඳ නඩුවට අදාළ සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිවිස් වෙබ් අඩවියේ පළකර අධිකරණයට අපහාස කළ බවට එම වෙබ් අඩවියේ කතුවරයාට චෝදනා එල්ලවී තිබේ.
ලංකා ඊ නිවුස් ප්‍රතිචාරය
ඒ අනුව අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධ එම නඩුව අභියාචනාධිකරණයට යොමුකිරිමට ද එහිදී තීරණය වී ඇත.
අධිකරණයට අපහාසවන අන්දමේ පුවත් පළ කළැයි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව අධිකරණයට පැමිණිලි ඉදිරිපත්වී ඇති අතර අද දින තීන්දුව දෙන ලද කාවින්ද්‍යා නානායක්කාර විනිසුරුවරියට අපහාසවන අන්දමේ පුවත් පළ කළ බවට වූ පැමිණිල්ලක් ද ඒ අතර වේ.
ඇය සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ නීතිපතිවරයා සම්බන්ධයෙන් දැක්වූ අදහසක් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ දැඩි විවේචනයට ලක්වී තිබිණි.
කෙසේවෙතත් අධිකරණයට අපහාස කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ද පුවතක් පළ කරමින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය එය ප්‍රතික්ෂේප කළේය.
පසුගිය ආණ්ඩුව සමයේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කොළඹ කාර්යාලය ගිනි තැබීම හා එල්ලවු තර්ජන හේතුවෙන් එහි කතෘ සඳරුවන් සේනාධිර විදේශගත විය.









