ජනපති UNO කතාවේ ප්‍රධාන කරුණු අටක්

තමා බලයට එනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති පදවියට හිමි බලතල පාර්ලිමේන්තුවට පැවරූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

ඡායාරූප මූලාශ්‍රය, UNO

ඡායාරූප ශීර්ෂ වැකිය, තමා බලයට එනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති පදවියට හිමි බලතල පාර්ලිමේන්තුවට පැවරූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි

බලය අත්හැර දමනු ලැබීම සම්බන්ධයෙන් තමා රටේ ජාතික දේශපාලනයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත් ආදර්ශයක් දුන් බව ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ නිව්යෝර්ක් නගරයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ දෙවැනි සැසි වාරය අමතමිනි.

සිංහල භාෂාවෙන් පැවැත්වූ සිය කතාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන කරුණු අටක් කෙරෙහි අවධානය යොමු කරයි.

1.රටේ ජාතික දේශපාලනයට සහ ජාත්‍යන්තර දේශපාලනයට බලය අත්හැරීම ගැන ආදර්ශයක් දීම;

එම කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය.

"2015 වසරේ ජනවාරි මාසයේ ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර මම මගේ රටේ ජනතාවට දුන් පොරොන්දු කිහිපයක් තිබෙනවා. එහිදී විශේෂයෙන් මා සඳහන් කළේ ලෝකයේ කිසියම් රටක, කිසියම් නායකයෙකුට නොතිබූ අසීමිත බලයක් ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපතිවරයාට තිබූ බැවින් මා බලයට පත් වූ විට ඒ අසීමිත බලය ජනාධිපති ධූරයෙන් ඉවත් කර පාර්ලිමේන්තුව සඳහා පවරනු ලබන බවයි. බලයට පත් වූ නායකයෙක් එවැනි අසීමිත බලතල රාශියක් සිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ, තනතුර තුළ තිබියදී එම බලය, බලයේ සිටින අවස්ථාවේ තමා විසින්ම අත් හළ, පාර්ලිමේන්තුවට පැවරූ නායකයෙක් විදියට මගේ රටේ ජාතික දේශපාලනයටත්, ජාත්‍යන්තර දේශපාලනයටත් බලය අත්හැරීම පිළිබඳ ආදර්ශය මා විසින් දී තිබෙනවා".

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට බලය පැවරීම

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට බලය පැවරීම

2. බොහෝ නායකයින් බලයෙන් ඉවත් වීමට තිබෙන්නා වූ අකමැත්ත තුළ, එම රට තුළ සාමය බිඳීම, සාමය නැතිවීම මෙන්ම එය ජාත්‍යන්තර වශයෙන් ද විවිධ බෙදීම් අසමගිකම් සඳහා බලපාන බව.

ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බොහෝ නායකයින්, බලයෙන් ඉවත්වීමට තිබෙන්නා වූ අකමැත්ත තුළ, රටවල් තුළ සාමය බිඳී යන අතර එය ජාත්‍යන්තර වශයෙන් ද විවිධ බෙදීම් අසමගිකම් සඳහා බලපාන බව පෙන්වා දුන්නේය.

එවැනි තේරුම් ගැනීමක් යටතේ ශ්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරමින්, ඒවනවිට තනි ආඥාදායක ගමනක් ගිය ගිය දේශපාලන කණ්ඩායම් ඉවත් කර, රට තුළ ජනතාවගේ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරමින් මානව හිමිකම් ආරක්ෂා කරමින්, මූලික අයිතිවාසිකම් පෝෂණය කිරීමට පියවර ගත් බව ජනාධිපතිවරයා මහා මණ්ඩලය හමුවේ සඳහන් කළේය.

3. තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේදී පරිසර සංරක්ෂණයට මුල් තැන දීම.

2017 වර්ෂය දුගී භාවයෙන් නිදහස් වීමේ වර්ෂය වශයෙන් නම් කරමින් ශ්‍රී ලංකාව තුළ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතීන් රාශියක් ආරම්භ කරන ලද අතර තිරසර සංවර්ධන ඉලක්ක සම්පූර්ණ කිරීමේ දී පරිසර සංරක්ෂණයට මුල් තැන දීම සිය රජයේ ප‍්‍රමුඛ කාර්යයක් බවට පත්කර ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

දුගී භාවයෙන් මිදීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා "ග්‍රාම ශක්ති" නමින් නව වැඩ පිළිවෙලක් ආරම්භ කරන ලද බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

4. කාලගුණික,දේශගුණික විපර්යාසයන්ට අදාළ ජාත්‍යන්තර එකඟතා අනුව කටයුතු කිරීම.

පැරිස් සමුළුවේ දී සහ වෙනත් පරිසර ප්‍රඥප්තීන් අනුව කටයුතු කිරීම සමස්ත මානව සමාජයේ මෙන්ම මුළු මහත් ජීව ලෝකයේ පැවැත්මට වැදගත් වන බව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව මුණගැසුණු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව

ඡායාරූප මූලාශ්‍රය, Twitter/ @maithripalas

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව බදාදා (සැප්තැම්බර් 20) ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව මුණගැසුණහ

5. ලෝකයේ සියලු රටවල දරුවන් ප්‍රශ්න රාශියකට මුහුණ දී සිටින හෙයින් ළමා ආරක්ෂණය ජාතික සහ අන්තර්ජාතික වශයෙන් වැදගත් වීම.

ශ්‍රී ලංකාව ළමා ආරක්ෂණ උදෙසා 'දරුවන් සුරකිමු' යන තේමාව යටතේ පුළුල් ජාතික වැඩසටහනක් ආරම්භ කළ බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මත් ද්‍රව්‍යවලින් සහ අපචාරවලින් දරුවන් බේරා ගැනීම සඳහා ජාතික සහ අන්තර්ජාතික වශයෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ අවශ්‍යතාව මහා මණ්ඩලය ඉදිරියේ පැහැදිළි කළේය

6. කාන්තා නියෝජනය වැඩි කිරීම.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% කට අධික ජනගහනය කාන්තාවන් වන අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අලුත් සංශෝධන මගින් මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුවල 25% ක් කාන්තාවන් විය බව නීතිගත කරන ලද බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

7. විදේශීය ණය අවුල සහ මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ චෝදනා.

2015 වසරේ බලයට පත් වන විට ප්‍රධාන ප්‍රශ්න දෙකකට මුහුණ දීමට සිදු වූ බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ අතරින් විදේශීය ණය අවුල සහ මූල්‍ය හිඟය ඉතා බැරෑරුම් වූ බවත් ඒ අතරවාරයේ යුද සමයේ සිදු විනැයි කියනු ලබන මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් වූ යෝජනාවන්ට මුහුණ දීමට සිදු වූ බවත් පෙන්වා දුන්නේය.

කාන්තා නියෝජනය 25%ක් -ලෝකයේ පළමු අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන්
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තා නියෝජනය 25%ක් -ලෝකයේ පළමු අගමැතිවරිය ශ්‍රී ලංකාවෙන්

"එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මා පෙර කී පරිදි යුද කාලය තුළ පැවති තත්වයන් ඇසුරෙන් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව අපි රජයක් විදියට සැලකිල්ලට අරන් ඒ කරුණුවලට ප‍්‍රමුඛතාවක් දීලා ඒ කරුණු විසඳීමට මගේ රජය කටයුතු කරනවා. ප‍්‍රධාන වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම මානව හිමිකම් ආරක්ෂා කිරීම ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම කියන කරුණු පදනම් කර ගෙන මගේ රජය ගෙවී ගිය වසර දෙකහමාරක කාලය තුළ රට තුළ සාර්ථක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කිරීමේ කාර්යය ඉටු කර තිබෙනවා සේම ඉදිරි කාලය තුළ ඉතාමත් පැහැදිලිව එම කරුණු තහවුරු කිරීමට රජයක් විදියට ක‍්‍රියාකරන බව විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට ඕන" ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කළේය.

8. කඩිනම් විසඳුම් නැහැ.

ඇතැම් අන්තවාදී පිරිස් වේගවත් ගමනක් බලාපොරොත්තු වෙන නමුත් වසර 30කට ආසන්න කාලයක් යුද්ධයක් පැවති රටක් විදියට සෙමින් යන සාර්ථක ගමනක් සඳහා අවශ්‍ය සහයෝගය දෙන ලෙස ජනාධිපතිවරයා සිය කතාව අවසානයේ ඉල්ලීමක් කළේය.

"වේගවත් ගමනක් අනතුරු සහිතයි කියලා අපි සැවොම අහලා තියෙනවා. ඒ නිසා ඇතැම් අන්තවාදී පිරිස් බලාපොරොත්තු වන වේගවත්, කඩිනම් විසඳුම් දීමේ අසීරුතාවන් මුළු මහත් සමාජය තුළ තිබෙන්නා වූ සංකීර්ණ ස්වභාවයන් ඔබ සෑම කෙනෙක්ම පිළිගනු ඇතැයි මා විශ්වාස කරනවා" යයි ජනාධිපතිවරයා කියා සිටියේය.

සබැඳි පුවත්;