ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක් -ජනාධිපති මෛත්‍රී

බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වීනම් ප්‍රභාකරන් කෙනෙකු බිහි නොවන බව ජනාධිපතිවරයා පවසයි
ඡායාරූප ශීර්ෂ වැකිය, බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වීනම් ප්‍රභාකරන් කෙනෙකු බිහි නොවන බව ජනාධිපතිවරයා පවසයි

හිටපු හමුදාපති ජනරාල් ජගත් ජයසූරියට පමණක් නොව රටේ කිසිවකුට අත තියන්නට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේ අද ඉරිදා (සැප්තැම්බර් 03) කොළඹ කැම්බල් පිටියේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහය වෙනි සංවත්සරය අමතමිනි.

"ජනරාල් ජගත් ජයසූරියට නඩු පවරනු ලැබීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව එය මුහුදින් එතෙර ප්‍රශ්නයක්" යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය දරන ජනාධිපතිවරයා සඳහන් කළේය.

"එය මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.කිසිම හමුදාපතිවරයකුට හෝ රණ විරුවකුට අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ"

ජනරාල් ජගත් ජයසූරිය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනරාල් ජගත් ජයසූරිය

සිය කතාවේ දී රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා "එන්ජීඕ සංවිධාන කියන විධියට තමා නටන්නේ නැති" බවත් කියා සිටියේය.

එහෙත් රටට ආදරය කරන රාජ්‍ය නොවන සංවිධාන සමඟ තමා වැඩ කරන බවත් ජනාධිපතිවරයා පවසයි.

බණ්ඩාරනායක -චෙල්වනායගම් ගිවිසුම හෝ ඩඩ්ලි -චෙල්වනායගම් ගිවිසුම ක්‍රියාත්මක වීනම් ප්‍රභාකරන් කෙනෙකු බිහි නොවන බවත් ජනාධිපතිවරයා සිය කතාවේ දී සඳහන් කළේය.