ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය "සාර්ථකයි"

හදවත

ඡායාරූප මූලාශ්‍රය, iStock

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම සාර්ථකව සිදුකළ බව සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

පසුගිය සිකුරාදා (ජූලි 07) මහනුවර මහ රෝහලේදී මෙම සැත්කම සිදුකර ඇත්තේ අනුරාධපුරයේ පදිංචි වයස අවුරුදු 34ක කාන්තාවකට ය.

එම කාන්තාවගේ හදවත සියයට 12ක් පමණ අකර්මණ්‍යව තිබී ඇත.

ඇයට බද්ධ කිරීම සඳහා හදවත ලබා ගෙන ඇත්තේ මොළය මරණයට පත්වූ 24 හැවිරිදි තරුණයෙකුගෙනි.

එම තරුණයාගේ වකුගඩු දෙක ද වෙනත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර තිබේ.

හදවතක්

හදවත බද්ධ කළ කාන්තාව සහ වකුගඩු බද්ධ කළ රෝගීන් දෙදෙනා මේ වනවිට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙම හදවත් බද්ධය සඳහා මහ නුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහ රෝහල, වැලිසර ළය රෝහල සහ බොරැල්ල ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු එක්ව සිටියහ.

හෘද රෝග, නිර්වින්දන, අවයව බද්ධ කිරීම සහ උරස් හෘද ශල්‍ය විශේෂඥවරු ඊට ඇතුළත් වෙති.

මෙම වෛද්‍යවරුන් සිදුකළ හදවත් බද්ධ කිරීම අගයමින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න, දුරකථනය ඔස්සේ එම වෛද්‍යවරුන් සම්බන්ධ කර ගනිමින් ස්තුතිය පුද කර ඇත.