කටාර් අර්බුදය: කලාපයේ ස්ථාවරභාවය අනතුරේද?

A Qatar Airways aircraft at Hamad International Airport in Doha, Qatar, June 7, 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර් රාජ්‍ය වෙත සහ ඉන් පිටතට සිදු කරන ගුවන් ගමන් අත්හිටුවීමට සෞදි අරාබිය ඇතුළු කලාපීය රටවල් කිහිපයක් කටයුතු කළහ

කටාරය සහ සෞදිය ඇතුළු තවත් අරාබි රටවල් කිහිපයක් අතර පවතින අර්බුදකාරී වාතාවරණය කලාපයේ ස්ථාවරභාවයට බලපෑමට ඉඩ තිබෙන බවට බිය පළ වෙමින් පවතී.

සිය රට සහ විශේෂයෙන් සෞදි අරාබිය අතර පවතින අර්බුදකාරී ස්වභාවය හේතුවෙන් කලාපයේ ස්ථාවරභාවයට තර්ජන එල්ල වී ඇති බව කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා පවසයි.

"අපේ ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය වෙනුවෙන් අපි යටත් වෙන්නේ නැහැ. එසේ යටත් වීමට අප කිසිදාක සූදානම් වෙන්නෙත් නැහැ," යනුවෙන් කටාර් විදේශ අමාත්‍යවරයා ඩෝහා අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් අවධාරණය කළේය.

මතුව තිබෙන අර්බුදයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට තමන් තවමත් සූදානම් බව කී විදේශ කටයුතු අමාත්‍ය ෂේක් මොහම්මද් බින් අබ්දුල් රහ්මාන් අල්-තානි ඒ සඳහා හමුදාමය විසඳුමකට යාම බැහැර කරයි.

line
line

ඉස්ලාම් අන්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට අරාබි රටවල් හයක් සඳුදා (ජුනි 05) පියවර ගත්හ.

කටාරය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලාංකිකයන්ට ඇති බලපෑම

ඒ සමග සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේනය, ලිබියාව, යේමනය සහ ඊජිප්තුව යන රටවල් කටාර් රාජ්‍ය වෙත සිය දේශ සීමා වසා දමනු ලැබීමත් සමග එරට තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ වී තිබේ.

The diplomatic crisis is likely to disrupt Qatar's food imports from Saudi Arabia

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසි දහසක් පමණ කටාර් රාජ්‍ය තුළ සේවයේ නිරතව සිටිති

සැපයුම් පහළ යාමත් සමග ආහාර සහ පානීය ජලය ප්‍රවාහනය කිරීම සඳහා තම රටට අයත් වරායන් තුනක් ප්‍රයෝජනයට ගන්නා ලෙස ඉරානය පවසා ඇතත් එම යෝජනාව මෙතෙක් පිළිගෙන නොමැති බව කටාරයේ විදේශ ඇමතිවරයා පවසයි.

කටාර් රාජ්‍යය වෙත ගුවන් මාර්ගයෙන් ආහාර සහ පානීය ජලය සැපයීමට තුර්කිය සහ ඉරානය සැලසුම් කරමින් සිටී.

ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසි පන් දහසක් පමණ කටාර් රාජ්‍ය තුළ සේවයේ නිරතව සිටින බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරාල බීබීසී සිංහල සේවයට පැවසීය.

line
line

තවත් මාස ගණනාවකට අවශ්‍ය ආහාර සංචිත ගබඩා කර තබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැකසෙමින් පවතින බවට කටාර් බලධාරීන් එරට සිටින තානාපතිවරුන් දැනුවත් කර ඇති බව කටාර්හි සිටින ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී ලියනගේ ඩෝහා අගනුවර සිට බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් සඳහන් කළේය.

ආහාර මිල ඉහළ නොගොස් ස්ථාවරව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය විධි විධාන යොදවා ඇතැයි බලධාරීන් දන්වා ඇති බවත් ශ්‍රී ලංකා තානාපතිවරයා කියා සිටියේය.

අනතුරු ඇඟවීමක්

කටාර්

මේ අතර කටාර් රාජ්‍යය වෙත හිතපක්ෂපාතීත්වය දක්වන ඕනෑම අයෙකු වසර 15 දක්වා වූ සිර දඬුවමකට යටත් කළ හැකි බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනතුරු අඟවා තිබේ.

කටාරය සහ ගල්ෆ් රටවල් අතර මතුව ඇති අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා කුවේට් එමීර්වරයා මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරන අතර ඒ සඳහා සහාය ලබා දීමට තුර්කිය ද ඉදිරිපත් වී සිටී.

මේ අතර කටාර් රාජ්‍යය තුළ තවත් සිය හමුදා භටයන් යෙදවීමට ඉඩ ලබා දෙන පනතක් තුර්කිය විසින් සම්මත කර ගනු ලැබීය.

තුර්කිය 2014 වසරේ සිට කටාර් රාජ්‍යය තුළ සිය හමුදා කඳවුරක් පවත්වාගෙන යනු ලබන අතර එහි තුර්කි භටයන් 150 ක් පමණ රඳවා සිටිති.

line
line

මේ අතර අර්බුදකාරී වාතාවරණය නිරාකරණය කර ගැනීම සඳහා ඩෝහා බලධාරීන් රුසියාවේ උදව් පතන බව අලුත්ම වාර්තා මගින් පැවසෙයි.

කටාරයේ විදේශ ඇමතිවරයා රුසියාවේ විදේශ ඇමති සෙර්ගේයි ලව්රොෆ් මුණගැසීම සඳහා සති අන්තයේ මොස්කව් නගරයට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ක්‍රෙම්ලිනය නිවේදනය කළේය.

මේ අතර මතුව ඇති අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සහාය ලබා දීමට කැමති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයට දැනුම් දී තිබේ.

කලෙක දුගී රටක්

කටාර්

කලෙක දුගී රටක් වූ කටාර් රාජ්‍යය මේවන විට ගල්ෆ් කලාපයේ පොහොසත්ම රටවල් අතරින් එකක් බවට පත්ව සිටී.

රැකියා සොයා කටාර් රාජ්‍යය වෙත සංක්‍රමණිකයන් විශාල වශයෙන් පැමිණෙන අතර 2003 වසරේ දී හත් ලක්ෂයක් වූ එරට ජනගහනය 2016 වන විට ලක්ෂ විසි පහ දක්වා වැඩි වී ඇති බව ඇස්තමේන්තු කර තිබේ.

ජනගහනයෙන් වැඩි පිරිසක් තරුණ පුරුෂයන් වන අතර එහි සිටින කාන්තාවන් ප්‍රමාණය ලක්ෂ හතක් තරම් අඩු සංඛ්‍යාවකි.

line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාර් අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]