අගමැති මෝදි වතුකරයේ

අගමැති මෝදි ඉන්දීය ආධාර ඇතිව ඉදි කෙරුණ දික්ඔය රෝහල විවෘත කිරීමට සහභාගී වෙයි.
ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති මෝදි ඉන්දීය ආධාර ඇතිව ඉදි කෙරුණ දික්ඔය රෝහල විවෘත කිරීමට සහභාගී වෙයි.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මධ්‍යම වතුකරයේ නෝර්වුඩ් ප්‍රදේශයට ලඟා වී සිටියි.

ඉන්දීය අගමැතිවරයා වතුකරයේ සංචාරයක නිරතවන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමෙන් අනතුරුවය.

ඉන්දීය අගමැතිවරයෙකු වතුකරයේ සංචාරයකට එක්වන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමට පෙර මහත්මා ගාන්ධි හා ජවහර්ලාල් නේරු යන ඉන්දීය නායකයන් වතුකරයේ සංචාරය කර ඇත.

අගමැති මෝදි වතුකරයේ සංචාරයක නිරත වන්නේ ඉන්දීය රජයේ ආධාර ඇතිව ඉදි කරන ලද රෝහල විවෘත කිරීමටයි.

අගමැති මෝදි නෝර්වුඩ් සංචාරයෙන් අනතුරුව මහනුවර දළදා මාලිගාවේ ආගමික උත්සවයකට ද සහභාගී වීමට නියමිතයි.

වතුකරයේ ජනතාවට ආචාර කරන නායකයන්
ඡායාරූප ශීර්ෂ වැකිය, වතුකරයේ ජනතාවට ආචාර කරන නායකයන්

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ප්‍රථම ඉන්දීය අගමැතිවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසක් මුණගැසීමටද නියමිත බවත් වාර්තා වේ.