අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන මේ කරුණු දැන සිටියාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (මැයි 11) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06.00 ට විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතය.
ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණීමට නියමිත ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ පැය 24 කට වඩා අඩු කාලයකි.
ඉන්දීය අගමැතිවරයාගේ සහභාගීත්වයෙන් ගංගාරාම විහාරස්ථානයේ වෙසක් කලාපය විවෘත කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ජනපති මැදුරේදී රාත්‍රි භෝජන සංග්‍රහයකට එක්වීමට නියමිතය.
හෙට (මැයි 12) උදෑසන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වීමට නියමිත ඉන්දීය අගමැතිවරයා ඉන් අනතුරව මධ්‍යම වතුකරයේ නෝර්වුඩ් ප්‍රදේශයේ සංචාරයකට එක් වනු ඇත.
අගමැති මෝදි මධ්‍යම වතුකරයේ


ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහිදී අගමැති මෝදි ඉන්දීය සම්භවයකින් පැවත එන වතුකරයේ දෙමළ ජනතාව සහභාගිවන මහජන රැස්වීමක් ඇමතීමට ද නියමිතය.
වතුකරයේ වෙනස් දේශපාලන අදහස් දරන නායකයන් එක් කර ගනිමින් මසකට ආසන්න කාලයක සිට ඉන්දීය තානාපති නිලධාරීහු එහි සංවිධාන කටයුතුවල යෙදී සිටිති.
ඉන්දීය අගමැතිවරයෙකු වතුකරයේ සංචාරයකට එක්වන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.


ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමට පෙර මහත්මා ගාන්ධි හා ජවහර්ලාල් නේරු යන ඉන්දීය නායකයන් වතුකරයේ සංචාරය කොට තිබේ.
මෙවර ඉන්දීය අගමැතිවරයා සහභාගීවන රැස්වීමට විසි දහසකට ආසන්න පිරිසක් සහභාගී වනු ඇති බවට වතුකරය නියෝජනය කරන දේශපාලන නායකයෝ බලාපොරොත්තු පළ කරති.
මහජන රැස්වීමට පෙර ඉන්දීය රජයේ ආධාර මත එම ප්‍රදේශයේ ඉදි කරන ලද රෝහලක් විවෘත කිරීමට ද ඉන්දීය අගමැතිවරයා සහභාගී වනු ඇත.

දෙමළ ජාතික සන්ධානය සමග හමුවක්
වතුකරයේ පැයක පමණ සංචාරයෙන් පසු මහනුවරට පැමිණීමට නියමිත අගමැති මෝදි එහිදී දළදා සමිඳුන් වැඳ පුදාගනු ඇත.
අනතුරුව කටුනායක වෙත පැමිණීමට නියමිත ඉන්දීය නායකයා ගුවන් තොටුපල පරිශ්‍රයේ දී විපක්ෂ නායක ආර් සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නායකයන් හමුවීමට නියමිතය.


එම හමුව පස්වරු 3.30 ට පැවැත්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ නායකයකු බීබීසී සිංහල සේවයට පැවසීය.
ඉන්දීය අගමැතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරයේ දී කිසිදු ගිවිසුමකට හෝ ලිඛිත එකඟතාවකට අත්සන් නොතබනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේය.
ඉන්දියාවෙන් හෙලිකොප්ටර් යානා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය අගමැතිවරයාගේ ආරක්ෂාව පිණිස ශ්‍රී ලංකා පොලිසියේ 6,000 ක බළඇණියක් යොදවා තිබෙන අතර ඔහු ගමන් ගන්නා වේලාවන්හිදී මාර්ග හා අතුරු මාර්ග වසාදැමීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
හෙලිකොප්ටර් යානා ගොඩ බෑමේ දී බඹර වදවලට හානි සිදු විය හැකි බැවින් එම අනතුර සළකා නෝර්වුඩ් ප්‍රදේශයේ බඹර වද පවා ඉවත් කිරීමට හැටන් පොලිසිය කටයුතු කර තිබිණි.
ඉන්දීය අගමැතිවරයාට ගමන් කිරීම සඳහා ඔහුගේ නිල ප්‍රයෝජනය සඳහා ඇති රථ දෙකක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.
හැටන්,නෝර්වුඩ් සහ මහනුවර සංචාරය කිරීම සඳහා MI17 වර්ගයේ විශේෂ හෙලිකොප්ටර් යානා 3 ක් ද ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇත.
ශ්‍රී ලංකා සංචාරය තුළ ඉන්දීය අගමැතිවරයා භාවිත කරන්නේ එරටට අයත් හෙලිකොප්ටර් යානා බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රකාශකයෙකු බීබීසීයට තහවුරු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi/Twitter
ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයට විරෝධය පළ කරමින් කළු කොඩි ඔසවන ලෙස විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි.
තමන් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ "අපූරු ජනතාව" සමග අදහස් හුවමරු කර ගැනීමට බලාපොරොත්තු වන බව අද උදෑසන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා පැවසීය.










