වෛද්‍ය පාදෙණිය පෞද්ගලික චැනලින් සේවා සඳහා පැමිණියාද?

ඡායාරූප මූලාශ්‍රය, GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද දින (මැයි 05) කිසිදු පුද්ගලික රෝහලක වෛද්‍ය සේවා සඳහා සහභාගී නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
අද පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හේතුවෙන් ඔහු පුද්ගලික රෝහල්වලට නොපැමිණෙන බව එම රෝහල්වලට දැනුම්දී තිබුණත් ඇතැම් චැනලින් සේවා වෙබ් අඩවිවල එම තොරතුර යාවත්කාලීන වී නොතිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.
වෛද්‍ය වර්ජනයක් ක්‍රියාත්මක කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා පුද්ගලික චැනලින් සේවා සඳහා සම්බන්ධ වන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචන එල්ලවී තිබිණි.


එවැනි විවේචන එල්ලවී තිබුණේ ඔහු පුද්ගලික රෝහල්වලට අද දින පැමිණෙන බවට චැනලින් සේවා වෙබ් අඩවි වල පළවී තිබූ වාර්තා පදනම් කර ගනිමිනි.
"මුදල් ඇති රෝගීන්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක අද දින සවස 4ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ චැනල් සේවය ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගත් රිසිට් පතක් සිය සමාජ ජාල පිටුවට එක් කර තිබුණි.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ රෝහල්වල රෝගීන් අපහසුතාවට පත්කරමින් පුද්ගලික චැනල් සේවා සඳහා පැමිණෙන "මුදල් ඇති රෝගීන්ට" ප්‍රතිකාර කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවය.
"මගේ නමින්ම ඊයේ රාත්‍රියේ Appointment එකක් ගත්තා මුදල් ගෙවලා. දැන් මගේ නම දැකලා මේක අවලංගු කරයි ද දන්නේ නැහැ. නමුත් සල්ලි තියෙන අයට ප්‍රතිකාර කරන්න මේ අය සුදානම් කියන එකයි මේකෙන් පේන්නේ " යනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක වැඩිදුරටත් සඳහන් කළේය.
චැනලින් සේවා 'සාමාන්‍ය පරිදි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අද දින තම රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය සේවාව සඳහා නොපැමිණෙන බව දැනුම් දී ඇති බව මේ අතර කොළඹ නවලෝක රෝහලේ ප්‍රකාශකයෙකු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා සඳහන් කළේ අද දින පුද්ගලික වෛද්‍ය සේවාවල නොයෙදෙන ලෙස තම සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවය.
කෙසේවෙතත් පුද්ගලික රෝහල් ගණනාවක්ම කියා සිටියේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් තම සේවාවලට කිසිදු බලපෑමක් සිදු නොවූ බවය.
සිය චැනලින් සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව එම පෞද්ගලික රෝහල් වැඩිදුරටත් පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කළේ සයිටම් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.












