ක්‍රිකට් පරාජයට හේතුව නිතර ක්‍රීඩකයන් වෙනස් කිරීම ද ?

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට එකදිගට ස්ථාවරව ක්‍රීඩා කිරීම සඳහා අවස්තාව ලබාදිය යුතු බව හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සහ ක්‍රිකට් විචාරක ඩීන් ජෝන්ස් පවසයි.
අඟහරුවාදා පැවැත්වෙන බංග්ලාදේශයට එරෙහි දෙවෙනි එක් දින තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු වූ අතර තරගයේ විස්තර විචාරයේ යෙදෙන ඩීන් ජෝන්ස් කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ කණ්ඩායමේ නායක උපුල් තරංගගෙන් ඒ පිළිබඳ විමසීමක් කළේය.
2015 ලෝක කුසලානයෙන් පසු ක්‍රීඩකයන් 40කට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීම කණ්ඩායමේ ස්ථාවරභාවයට ගැටළුවක් නොවන්නේ දැයි ඔහු විමසූ අතර නායක උපුල් තරංගගෙන් එයට නිසි පිළිතුරක් නොලැබුණි.
මෙලෙස දිගින් දිගටම ක්‍රීඩකයන් මාරු කරමින් ක්‍රීඩා කිරීම එක්දින තරගාවලි වලදී ශ්‍රී ලංකාව දක්වන අසාර්ථකත්වයට හේතු වී ඇති බව වෙනත් ක්‍රීඩා විචාරකයෝද පෙන්වාදෙති.
'ක්‍රීඩා සමාජ දේශපාලනය'
2015 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 38කින් ජයගෙන තිබෙන්නේ තරග 12ක් පමණක් වන අතර, එම ජයග්‍රහණවලින් බහුතරය වාර්තා වී තිබෙන්නේ අයර්ලන්තය, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිවය.
මේ ආකාරයෙන් දිගින් දිගටම එක්දින තරග පරාජය වුවහොත්, ශ්‍රී ලංකාවට 2019 ලෝක කුසලානය සඳහා නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්තාව පවා අහිමිව යාමට ඉඩ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස පළමු පෙළ ක්‍රිකට් තරගවල පූර්ණ ප්‍රතිශෝධනයක් කිරීමේ අවශ්‍යතාවය ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපති සිදත් වෙත්තමුණි මේ අතර පෙන්වාදෙයි.
ඒ සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට අයිසීසී ජගත් පාලක මණ්ඩලයේ සහ අගමැතිවරයාගේ පවා පූර්ණ සහාය පළ වූ නමුත් 'ක්‍රීඩා සමාජ දේශපාලනය' හේතුවෙන් එය ක්‍රියාත්මක නොවන බව ද සිදත් වෙත්තමුණි පසුගියදා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ සඳහා මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර වැනි මෑතදී ක්‍රීඩාවෙන් සමුගත් දක්ෂ ක්‍රීඩකයන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැකිලෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.










