බැඳුම්කරය: "මේ වසර තුළම ප්‍රතිඵල"

බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කර ඇත්තේ පරීක්‍ෂණ යටගැසීමට නොව එය වේගවත්කිරීම සඳහා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එම සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ඇමතිවරයා බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ මෙම වසර ඇතුළතදී ම එහි ප්‍රතිඵල දැකිය හැකි බවය.

"මේ මුදල ආපහු රජයට අයකර ගැනීමට ඇති හැකියාව පිළිබඳවත් මේ කොමිසම විශේෂයෙන්ම බලනවා." යනුවෙන් ඔහු පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් මහින්ද අමරවීර ඇමතිවරයා කියාසිටියේ බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසම ලබාගන්නා සාක්ෂි, නඩු පැවරීමේදී වැදගත් සාක්ෂි බවට පත්වන බවය.

"හොරුන්ට බේරෙන්න ඉඩදෙන්න පුළුවන් කමක් නැහැ. ගිය ආණ්ඩුව හොරකම් කළත් වැරදියි. මේ ආණ්ඩුව හොරකම් කළත් වැරදියි. ගිය ආණ්ඩුව වැඩියෙන් හොරකම් කළා කියල මේ ආණ්ඩුව අඩුවෙන් හොරකම් කරන්නවත් බැහැ. මොකද මේවා ජනතාවගේ මුදල්. ඒ අයට අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදෙන්න ඕන." යනුවෙන් ඔහු පැවසීය.