තාජුඩීන් ඝාතනය : හමුදා නිලධාරීන් ගැන පරීක්ෂණ

තජුදීන්
ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය

වසීම් තාජුදීන් ඝාතනයවූ කාලය තුළදී ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ උසස් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

තාජුඩීන් ඝාතන නඩුව අද ( පෙබ.02) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අදාළ හමුදා නිලධාරීන්ගේ නම් හෙළි නොකළේය.

සිද්ධිය වූ කාලය තුළ ඔවුන්ගේ දුරකතන ඇමතුම් හා සංවාද පවත්වන අතර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ දුරකථනයෙන් තාජුදින් ඝාතනය වූදා ජනාධිපති මන්දිරයට ලබාදුන් ඇමතුම පිළිබඳවද පරීක්ෂණ පවත්වන බව කියා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලු අධිකරණය, පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 16 වෙනිදා ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යනාදී සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.