ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ කොකා කෝලා නිෂ්පාදන මධ්‍යස්ථානයක්?
ශ්‍රී ලංකාව, සිය කලාපීය නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම පිළිබඳ කොකාකෝලා සමාගමේ අවධානය පළ වී තිබෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
කලාපයේ වැඩිම කොකා කෝලා ඉල්ලුමක් ඇති ඉන්දියාව වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව යොදා ගත හැකි යයි සමාගමේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානීන් සඳහන් කළ බව මුදල් අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.
කොකා කෝලා සමාගමේ ආසියා පැසිෆික් කලාපීය සමූහ ව්‍යාපාරයේ සභාපති ජෝන් මර්ෆි (Jhon Murphy) සහ විධායක උප සභාපති අයිරියල් ෆිනන් (Irial Finan), මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සමග පසුගියදා අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී එම කරුණු අනාවරණය වූ බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
"ශ්‍රී ලංකාවේ පවතින ස්වභාවික ජල සම්පත් හා තේ ආශ්‍රිත නිෂ්පාදන යොදා ගෙන, කොකා කෝලා නිෂ්පාදන කම්හල් මෙරට ඇති කර, ඒවා ප්‍රති අපනයනයට ඇති ඉඩ ප්‍රස්ථා සම්බන්ධයෙන්ද ඔවුහු අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සාකච්ඡා කළහ," යනුවෙන්ද නිවේදනයේ සඳහන් වේ.
"සිය නිෂ්පාදන සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ පවතින බැවින් ඒ සඳහා ශ්‍රී ලංකාව නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම කොකාකෝලා සමාගමේ නියෝජිතයන්ගේ යෝජනාව විය."
ඒ පිළිබඳව බීබීසී සංදේශය වැඩබලන මුදල් අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධනගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ සමාගමේ අදාළ සැලසුම පිළිබඳව තමන් දැනුවත් නොමැති බවයි.
මේ අතර කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගමේ බියගම පිහිටි කර්මාන්ත ශාලාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යයක් කැලණි ගඟට මුසුවීම පසුගිය වසරේ රට පුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.