සංහිඳියා කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතිට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
යුද ගැටුම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව සඳහා ගත යුතු පියවර කවරේදැයි ජනතා අදහස් විමසා බලා සකස් කළ පූර්ණ වාර්තාව ලබන ජනවාරි මස තුන් වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙන බව සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය පවසයි.
ඉන් අනතුරුව එදිනම එය සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන බවත් කාර්ය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු බීබීසී සංදේශයට පැවසීය.
"අනිවාර්යයෙන්ම අපි ප්‍රකාශයට පත්කරනවා. ආණ්ඩුව කරන්නේ නැත්නම් අපි කරනවා," ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව පුරා විවිධ දිස්ත්‍රික්කවල සහ පලාත්වල සංචාරය කරමින් සහ ලාංකීය සමාජයේ විවිධ ජනකොටස් සහ ආගමික නායකයන් මුණගැසී කරන ලද අදහස් විමසීම්වලදී තමන්ට යෝජනා 7500 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Consultation Task Force
"ඉතින් ඒ යෝජනාවල මූලික කාරණා තමයි අපේ වාර්තාවේ අඩංගු වෙලා තියෙන්නේ."
යුද අපරාධ චෝදනාවලට අදාළ ජිනීවා යෝජනාව ප්‍රකාර යාන්ත්‍රණ හතරක් පිහිටුවීමේදී ජනතාව ඉදිරිපත් කළ යෝජනා උපයෝගී කරගන්නා බවට ආණ්ඩුව ප්‍රතිඥා දී ඇති බව පෙන්වාදෙන ආචාර්ය සරවණමුත්තු, කාර්ය සාධක බලකාය හමුවේ ජනතාව දැක්වූ අදහස් ඒ සඳහා උපයෝගී කරගන්නේ දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇති බවත් පැවසීය.
කෙසේ නමුත් අතුරුදහන්වූවන් සම්බන්ධ කාර්යාලය පිළිබඳ පනත දැනටමත් සම්මත වී තිබෙන්නේ නොවේදැයි සංදේශය විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ, ඒ අවස්ථාවේ එම පනත ඉදිරිපත් කිරීම යෝග්‍ය නොවන බව තමන් ආණ්ඩුවට දැනුම් දුන් බවයි.
"අනිත් එක ඒ පනතට සංශෝධන අවශ්‍ය නම් තවමත් සංශෝධන ගේන්න පුළුවන්. කාර්යාලය තවමත් පිහිටුවල නෑනේ," ඔහු වැඩිදුරටත් පැවසීය.











